ඡායාරූප කළමනාකරණය – gThumb, Picasa සහ F-Spot

වින්ඩෝස් වල ඔබේ ප්‍රියතම ඡායාරූප කළමනාකරණ මෘදුකාංගය කුමක්ද? බොහෝ දෙනෙකුගේ පිලිතුර තවමත් ACDSee වෙනවා ඇති. නමුත් පිකාසා (Picasa), XnView, FastStone වැනි නොමිල (Free but not open) මෘදුකාංගත් තියෙනවා. මේ අතරින් මගේ ප්‍රියතම මෘදුකාංගය නම් පිකාසා සහ ෆාස්ට්ස්ටෝන් තමයි.

ලිනක්ස් සඳහා ඇති විකල්ප මොනවාද? ඔබ ග්නොම් භාවිතා කරනවානම් ඔබට gThumb හෝ F-Spot භාවිතා කරන්න පුලුවන්. මොකද මේ මෘදුකාංග දෙකම ග්නොම් හැඩ-වැඩ (Look & Feel) සමග ඉතා හොඳින් අනුගත වීමයි. මෙයින් gThumb සැහැල්ලු ඉතා වේගවත් මෘදුකාංගයක්. මෙය අපිට ACDSee වල මුල් අවධිය සිහිපත් කරවනවා. F-Spot යනු මොනෝ (Mono – ලිනක්ස් සඳහා .NET තාක්ෂණය සපයන වේදිකාවක්) භාවිතයෙන් ගොඩ නැගූ මෘදුකාංගයක්. ඔබ Flikr වැනි ඉන්ටර්නෙට් ඡායාරූප හවුල් සේවාවක් භාවිතා කරනවානම් (මා හිතනවා ඔබ කල යුතුයි කියා) F-Spot ඒ සඳහා සහායත් දක්වනවා.

gThumb පිහිටුවාගැනීමට “sudo yum install gthumb” විධානය දෙන්න.
F-Spot පිහිටුවාගැනීමට “sudo yum install f-spot” විධානය දෙන්න.



රූපය: gThumb



රූපය: F-Spot

ඔබ පිකාසා භාවිතා කල අයෙක් නම් F-Spot වල පහසුකම් සීමාසහිත යයි ඔබට හැඟෙන්න පුලුවන්. ඉතින් පිකාසා ලිනක්ස් වෙලුමක් (version) නැතිද? ගූගල් සමාගම මෑතක සිට පිකාසා ලිනක්ස් වලටත් මුදා හරිනවා. හැබැයි ධාවනය වන්නේ වයින් මතයි. පිකාසා වයින් මත ධාවනය වුනත් ඉතා හොඳින් ක්‍රියා කරනවා. වින්ඩෝස් වෙලුමේ ඇති සියළු පහසුකම් මෙහිත් තිබෙනවා.

ඔබ දැනටමත් වයින් භාවිතා කරනවා නම් පිකාසා වින්ඩෝස් වෙලුමම භාවිතා කල හැකියි. ඔබ වයින් භාවිතා කර නැත්නම් http://picasa.google.com/linux/ සබැඳියෙන් පිකාසා වයින් සමගම බාගත කල හැකියි.

රූපය: පිකාසා

ඔබ KDE භාවිතා කරන්නෙක් නම් ඩිගිකැම් (Digikam) හෝ ග්වෙන්වීව් (Gvenview) භාවිතා කිරීමට පුලුවන්.

Pulseaudio පහසුකමක්ද? හිසරදයක්ද?

ෆෙඩෝරා 8 සමග පෙරනිමියෙන්ම පිහිටුවා ඇති පල්ස්ඔඩියෝ (Pulseaudio) ඔබත් භාවිතා කලාද? ඔබ භාවිතා කරන සියලුම මෘදුකාංග (පරිගණක ක්‍රීඩා, ස්කයිප් ඇතුලුව) වල කරදරයකින් තොරව ශ්‍රවනය කිරීමට හැකිද? ෆෙඩෝරා 8 භාවිතා කරන සමහරෙකුට මෙයට පිලිතුර නැත යන්නයි. විශේෂයෙන්ම ඔබ ෆෙඩෝරා 8 පලමු ස්ථාපනයෙන් පසු ඉන්ටර්නෙට් ඔස්සේ යාවත්කාලීන කර නැත්නම් ඔබ මේ ගැටලුවට දැනටමත් මුහුණ පා සිටිනවා වෙන්නට පුලුවන්. එසේම ඔබ පරිගණයට සබැඳෙන්නේ සාමාන්‍ය පරිශීලකයෙක් නම් (non-root user) පල්ස්ඔඩියෝ ක්‍රියා නොකරන අවස්ථා තියෙනවා.

මේ ගැටළු සමනය කිරීමට පහත පුරුක් පිරික්සා බලන්න.

නමුත් මගේ පැනය නම් පල්ස්ඔඩියෝ ඔබට අවශ්‍යමද? පිලිතුර ඔබ භාවිතා කරන මෘදුකාංග හා දෘඩාංග මත වෙනස්වෙනවා. මගේ පිලිතුර නම් නැත යන්නයි. ඔබට එසැනින් සම්භන්ද (hot-pluggable) වෙන දෘඩාංග භාවිතාවට අවශ්‍ය නැත්නම්, එකවර ධාවනය වන මෘදුකාංග කිහිපයක ශබ්දය වෙන් වෙන්ව වෙනස් කිරීමට අවශ්‍ය නැත්නම් ඔබට පල්ස්ඔඩියෝ භාවිතාවෙන් වැලකී සිටිය හැකියි.

පල්ස්ඔඩියෝ මුලුමනින්ම ඉවත්කරන්නේ නැතිව ALSA සඳහා ක්‍රියාවිරහිත කිරීමට පහත විධානය දෙන්න. (අල්සා යනු ලිනක්ස් භාවිතා කරන ප්‍රධානතම ශබ්ද පද්ධතියයි)
“sudo yum remove alsa-plugins-pulseaudio”

දැන් පරිගණකය නැවත පණගන්වන්න. දැන් ඉතින් පරණ පුරුදු ආකාරයටම සියළුම මෘදුකාංග ක්‍රියා කරනවා.

ජාවා – Sun JRE සහ JDK ස්ථාපනය

ෆෙඩෝරා 8 මෙහෙයුම් පද්ධතියේ පෙරනිමියෙන් පිහිටුවා ඇත්තේ IcedTea නම් වූ ජාවා පද්ධතියකුයි. මෙය සන් සමාගම මගින් විවෘත මෘදුකාංගයක් ලෙස එලිදැක්වූ OpenJDK මූලාශ්‍ර කොට නිමවූවක්. මෙම ජාවා පද්ධතිය මීට පෙර තිබූ GNU gcj ට වඩා සම්පූර්ණ වුවත් බොහොමයක් ජාවා මෘදුකාංග ධාවනයට Sun ජාවා පද්ධතියම අවශ්‍ය වෙනවා. එසේම ඔබ ජාවා මෘදුකාංග නිමවනවා නම් Sun ජාවා පද්ධතිය අත්‍යාවශ්‍ය වෙනවා.

ජාවා පිහිටුවීමට ප්‍රථමයෙන් ජාවා බ්‍රව්සර් ප්ලගින් එක සඳහා අවශ්‍ය compat-libstdc++-33 පිහිටුවා ගන්න. මේ සඳහා පහත විධානය දෙන්න.

[lang=bash] sudo yum install compat-libstdc++-33 [/lang]

සන් ජාවා ෆෙඩෝරා වල පිහිටුවීමට දෙවනුව ඔබ කලයුත්තේ සන් ජාවා බාගත කිරීමයි. සන් ජාවා අඩවියෙන් Java SE JDK1.6 හෝ නවතම එකලස බාගත කරගන්න.

මෙහිදී Linux RPM in self-extracting file යන ගොනුව බාගත කරගන්න. දැන් ග්නොම් අග්‍රය (Gnome Terminal) විවෘත කර ඔබ ඉහත ගොනුව බාගත කල ස්ථානයේ සිට පහත විධාන දෙන්න. (ඔබ බාගත කල ගොනුව අනුව විධාන වෙනස් කිරීමට වගබලාගන්න)
[lang=bash]
sudo chmod a+x jdk-6u3-linux-i586-rpm.bin
sudo ./jdk-6u3-linux-i586-rpm.bin
[/lang]

දැන් අවශ්‍ය වන්නේ අප පිහිටවූ ජාවා පද්ධතිය මෙහෙයුම් පද්ධතියේ පෙරනිමියෙන්ම ක්‍රියාත්මක වන ලෙස සැකසීමයි. මේ සඳහා පහත විධාන දෙන්න.

[lang=bash]
sudo /usr/sbin/alternatives –install /usr/bin/javac javac /usr/java/latest/bin/javac 2
sudo /usr/sbin/alternatives –install /usr/bin/java java /usr/java/latest/bin/java 2
sudo /usr/sbin/alternatives –config javac
sudo /usr/sbin/alternatives –config java
[/lang]

ස්ථාපනය නිවැරදිදැයි බැලීමට පහත විධාන දී ඔබ පිහිටවූ සන් ජාවා වර්ශන් එක පිරික්සන්න.
[lang=bash]
java -version
javac -version
[/lang]

ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ ජාවා සක්‍රීය කිරීමට පහත විධානය දෙන්න

“sudo cd /usr/lib/mozilla/plugins”
“sudo ln -s /usr/java/latest/jre/plugin/i386/ns7/libjavaplugin_oji.so”

ඉන්පසු ප්‍රධාන මෙනුවේ System->Preferences->Java ක්‍රියාත්මක කර ජාවා පාලක පුවරුව (Control Panel) ලබාගත හැකියි.



දැන් ඉතින් ඔබට සීතල IcedTea එකක් වෙනුවට උණු ජාවා එකක් රසවිඳින්න පුලුවන්.

ලිනක්ස් මත වින්ඩෝස් මෘදුකාංග භාවිතය – Wine

වින්ඩෝස් වලින් ලිනක්ස් භාවිතාවට එක්වුණු අපි මුහුණ දෙන තවත් ගැටළුවක් වන්නේ අපි භාවිතා කරපු සමහර වින්ඩෝස් මෘදුකාංග සඳහා ලිනක්ස් විකල්පයක් සොයාගැනීමේ අපහසුව. මෙතෙන්දි අපේ පිහිටට මේ අඩවි දෙක භාවිතා කරන්න පුලුවන්.

නමුත් අපිට වින්ඩෝස් මෘදුකාංග නැතුවම බැරි වෙන අවස්ථාත් තියෙනව. මෙතෙන්දි තමයි Wine අපේ පිහිටට එන්නේ. වයින් කියන්නේ වින්ඩෝස් API ක්‍රියාකාරීත්වය ලිනක්ස් තුලින් ලබාදෙන ස්ථරයක් ලෙස සිතිය හැකියි. වයින් සම්පූර්ණයෙන්ම නිදහස් හා විවෘත මෘදුකාංගයක්. එය භාවිතාවට ඔබට වින්ඩෝස් බලපත්‍රයක හිමිකරුවෙක් වීමට අවශ්‍ය නැහැ. වයින් ලිනක්ස් මත පමණක් නෙවෙයි FreeBSD, MacOS X සහ Solaris වලත් ක්‍රියා කරනව.

වයින් පිහිටුවාගැනීමට “sudo yum install wine” යන විධානය ලබා දෙන්න.

රූපය: වයින් වල සැකසුම් සඳහා ඇති අතුරු මුහුණත

වයින් වල භාවිතා කල හැකි වින්ඩෝස් මෘදුකාංග ගැන දැන ගැනීමට මෙතන බලන්න.

ඔබ මීට අවුරුදු කිහිපයකට ඉහත වයින් භාවිතා කර සෑහීමකට පත් නොවූ අයෙක් නම් නැවත වතාවක් වයින් භාවිතා කිරීමට කාලයයි මේ. මන්ද යත් පසුගිය කාලයේදී වයින් සීග්‍ර දියුණුවක් ලබා තිබීමයි. මේ දියුණුව නිසා සමහර මෘදුකාංග නිෂ්පාදකයන් තම මෘදුකාංගය වයින් මතත් පරීක්ෂා කිරීම කරනවා. එමෙන්ම ගූගල් වැනි යෝධ සමාගම් වයින් සංවර්ධනයට ඍජුවම දායක වී තියෙනවා. වයින් සඳහාම සුසර කල වින්ඩෝස් මෘදුකාංග එලිදැක්වීම සමහර නිපැයුම්කරුවන් කරනවා.

විශේෂයෙන්ම වින්ඩෝස් පරිගණක ක්‍රීඩා සහ මයික්‍රොසොෆ්ට් කාර්‍යාලයීය යෙදුම් ලිනක්ස් මත ධාවනය පිණිසත් වයින් භාවිතා කරනවා. මෙනිසාම වයින් මත පදනම් වූ CrossOver Linux නම් වූ වාණිජ මෘදුකාංගයක්ද බිහිවී තිබෙනවා.



රූපය: වයින් මත පිකාසා (Picasa) ධාවනය

වයින් මත Picasa, uTorrent, WinRAR වැනි මෘදුකාංග ධාවනය ගැන ඉදිරියෙදී බලාපොරොත්තු වන්න.

GroupInstall – මෘදුකාංග සමූහයක් එකවර ස්ථාපනය

මීට පෙර සටහනකින් මා කීවා වාගේම යම් (Yum) භාවිතය පුරුදු වූ විට Application-> Add/Remove Software ලෙස ඔබට ඔබ ක්‍රියාත්මක කරවන පිරුට් (Pirut) භාවිතයට වඩා ඉතා පහසුයි.

පිරුට් වල ඇති එක් පහසුකමක් වන්නේ යම්කිසි මෘදුකාංග සමූහයක්ම එකවර ස්ථාපනයට ඇති හැකියාවයි. උදාහරණයක් ලෙස මෙහිදී ඔබට අවශ්‍යනම් සියළුම ග්නොම් ගෙම්ස් එකවර් පිහිටුවිය හැකියි. ඉතින් යම් වලත් මේ පහසුකම එලෙසම පවතිනවා. භාවිතය පිරුට් වලටත් වඩා පහසුයි.

උදාහරණයක් ලෙස ඔබට ඔබේ පද්ධතියේ සිංහල භාෂා සහාය පිහිටුවීමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ sudo yum groupinstall “Sinhala Support” යන විධානය දීමයි. ඔබට “Sinhala Support” යටතේ පිහිටුවන ලබන පැකේජ මොනවාද කියා දැන ගැනීමට sudo yum groupinfo “Sinhala Support” විධානය ලබදෙන්න. sudo yum grouplist විධානය දීමෙන් සියළුම මෘදුකාංග සමූහ වල විස්තර ලබාගත හැකියි.

Totem-Xine, Mplayer, RealPlayer සහ VLC

ඔබ ග්නොම් ඩෙස්ක්ටොප් එක භාවිතා කරන්නෙක් නම් ෆෙඩෝරා වල පෙරනිමියෙන් ස්ථාපනය කර ඇති ශ්‍රව්‍ය-දෘෂ්‍ය ධාවකය නම් ටොටම් (Totem). ටොටම් වලින් MPG, DIVX, MPEG2, WMA වැනි නිදහස් නොවන මාධ්‍ය ගොනු ධාවනය කල නොහැකියි.

ඉතින් මුල්වරට ෆෙඩෝරා ස්ථාපිත කල අපි හැමෝටම බලපාන ගැටළුවක් වන්නේ විවිධාකාර කේතක (Codecs) වලින් කේතනය කර ඇති මාධ්‍ය ගොනු මෙන්ම ඉන්ටර්නෙට් එක තුලින් ගලාඑන මාධ්‍ය දහරා වාදනය කරන්නේ කෙසේද යන්නයි.

මේ සඳහා ටොටම් විකල්ප දෙකක් භාවිතා කල හැකියි. එකක් තමයි Mplayer, අනෙක නම් VLC යි. Mplayer ස්ථාපනය සඳහා “sudo yum install mplayer mplayer-gui යන විධානය ලබාදෙන්න. VLC ස්ථාපනයට sudo yum install vlc යන විධානය ලබාදෙන්න. මේ ධාවක දෙකෙන්ම බොහොමයක්ම ශ්‍රව්‍ය-දෘෂ්‍ය ගොනු ධාවනය කල හැකියි. ඔබට රියල් (Real) ශ්‍රව්‍ය-දෘෂ්‍ය මාධ්‍ය ධාවනය අවශ්‍ය නම් RealPlayer Gold ධාවකය ලබාගන්න.



නමුත් හිතන්න ඔබට ටොටම් සඳහාම මේ ක්‍රියාකාරීත්වය ලබා ගත යුතුයි කියා. ඔබට ඇති එක විසඳුමක් තමයි ෆෙඩෝරා 8 සමග ස්ථාපනය වන CodecBuddy. මෙමගින් ඔබ පලමුවරට නිදහස් නොවන (proprietary or patent encumbered) මාධ්‍යයක් ධාවනය කිරීමට තැත් කල විට CodecBuddy තුලින් ඒ සඳහා අවශ්‍ය විකේතක (Codecs) මුදල් ගෙවා හෝ නොගෙවා ලබා ගැනීමට අවකාශ සලස්වනවා. නමුත් මෙයට වඩා හොඳ විසඳුමක් අපි සතුව තියෙනවා. ඒ තමයි Totem-Xine.

Totem-Xine යනු Totem වලට සෑම අතින්ම සමාන නමුත් totem භාවිතා කරන Gstreamer කේතක පද්ධතිය වෙනුවට Xine යනුවෙන් හැඳින්වෙන කේතක පද්ධතියක් භාවිතා කරන ධාවකයකුයි. මෙහි ඇති වාසිය නම් Totem-Xine, Totem ලෙසින්ම ග්නොම් සමග අනුගත වීමයි. ෆයර්ෆොක්ස් සඳහා plugin එකක් ලෙසත් Totem-Xine ක්‍රියා කරනවා. Totem-XIne ස්ථාපනයට,
“sudo yum remove totem totem-plparser totem-mozplugin rhythmbox”
“sudo yum install totem-xine totem-xine-mozplugin totem-plparser libdvdcss libdvdnav libdvdplay xine-lib-extras-nonfree rhythmbox”

යන විධාන ලබා දෙන්න.

ඉහත සියළු මෘදුකාංග ස්ථාපනයට නම් ඔබ් ලිව්නා ( http://rpm.livna.org/rlowiki/ ) සක්‍රීය කලයුතු වෙනවා. වැඩි විස්තර සඳහා මෙතන බලන්න. යම් මගින් මෘදුකාංග ස්ථාපනය

රිමෝට් ඩෙස්ක්ටොප්, VNC සහ FreeNX

ලිනක්ස් සඳහා හොඳම දුරස්ථ පරිපාලන ක්‍රමය මොකක්ද? GUI එකක් අවශ්‍ය නැත්නම් අනිවාර්‍යයෙන්ම උත්තරය වෙනවා ඇත්තේ SSHයි. නමුත් GUI එකත් අවශ්‍ය නම්, ප්‍රථමයෙන්ම මතකයට එන්නේ VNC නේද?

ලිනක්ස් වලදී VNC දෙයාකාරයකට භාවිතා කල හැකියි. එකක් තමයි දැනට කොන්සෝල් එක හරහා ලොග් වී සිටින යූසර් ගේ ඩෙස්ක්ටොප් එක දුරස්ථව පරිපාලනය. මේ සඳහා භාවිතා කරන්නේ Vino සර්වර් එකයි. ඔබේ ඩෙස්ක්ටොප් එක තවෙකකුට පාලනය කිරීමට හෝ පෙන්වීමට අවශ්‍ය විට vino-preferences විධානය දීමෙන් මේ සඳහා පහසුකම් සලසාගත හැකියි. එසේම vncserver එක ස්ථාපනය මගින් එකම පරිගණකයට කිහිප දෙනෙකුට වුවත් එකවරම, අනන්‍යවම ලොග් විය හැකියි. ඉහත අවස්ථා දෙකේදීම භාවිතා කරන client-side මෘදුකාංගය නම් vncviewer එකයි.

නමුත් ප්‍රශ්නය VNC, මයික්‍රොසොෆ්ට් රිමෝට් ඩෙස්ක්ටොප් ( RDP) හා සසැඳිය හැකිද? විශේෂයෙන්ම අඩු වේගයක් ඇති ජාල සබඳතාවකදී නම් VNC වලට වඩා RDP ඉතා වේගවත්. ඉතින් ඔබ ලිනක්ස් පරිගණකය භාවිතා කරන්නේ client-end එකේ නම් ප්‍රශ්නයක් නැහැ. rdesktop හෝ tsclient ස්ථාපනය කර ගැනීමෙන් ලෙහෙසියෙන්ම මයික්‍රොසොෆ්ට් Terminal-Server එකක් සමග සම්භන්ද විය හැකියි.

Terminal Server හා සැසඳිය හැකි ලිනක්ස් විසඳුමක් අවශ්‍ය නම් විසඳුම FreeNX. මෙමගින් ඉතා අඩු වේගයක් සහිත ලින්ක් එකකදි පවා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට පුලුවන්. FreeNX සර්වර් එක ස්ථාපනය සඳහා පහත විධාන දෙන්න.
sudo yum install freenx

ඉන්පසු http://www.nomachine.com/ අවියෙන් NX client එක ස්ථාපනය කරගන්න. FreeNX භාවිතා කරන්නේ SSH ම නිසා SSH2 වල ඇති සියලු වාසි එය සතුයි. ඔබ දැනටමත් SSH භාවිතා කරනවා නම් Firewall එකේ වෙනස්කම් කලයුතු වන්නේ නැහැ.



Yum මගින් මෘදුකාංග ස්ථාපනය

ඔබට අවශ්‍ය මෘදුකාංගයේ නම දන්නවනම් ඉතා ලෙහෙසියෙන්ම එය ස්ථාපනය කර ගැනීම සඳහා yum (යම්) භාවිත කල හැකියි. මදක් පුරුදු වූ විට Yum මගින් මෘදුකාංග ස්ථාපනය Applications-> Add/Remove Software යන විධානයෙන් ක්‍රියාත්මක වන පිරුට් (Pirut) භාවිතයට වඩා ඉතා පහසුයි. (ඇත්තෙන්ම පිරුට් කියන්නේ යම් වලට අනුගත කල GUI එකක්)

යම් මගින් පෙරනිමියෙන් ස්ථාපනය කල හැක්කේ ෆෙඩෝරා නිල මෘදුකාංග පමනයි. ඉතින් තෙවන පාර්ශවීය මෘදුකාංග ස්ථාපනය සඳහා ලිව්නා ( http://rpm.livna.org/ ) වැනි අඩවියක් යම් සඳහා සක්‍රීය කලයුතු වෙනවා. ෆෙඩෝරා 8 වලදී නම් ලිව්නා, යම් සඳහා ස්ථාපනයට http://rpm.livna.org/livna-release-8.rpm යන rpm බහාලුම ඔබේ පද්ධතියේ ස්ථාපනය කරගන්න.


sudo rpm -Uhv http://rpm.livna.org/livna-release-8.rpm

ෆෙඩෝරා 9 සඳහා

sudo rpm -Uhv http://rpm.livna.org/livna-release-9.rpm