ස්කයිපි (Skype) අලුත් වෙලා

ස්කයිපි ලිනක්ස් අලුත් වෙලා 2වැනි වෙලුමට. දැන් වෙබ්කෑම් සහායත් දක්වනවා. ඉන්ටර්නෙට් ඇමතුම් වල තත්වය වින්ඩෝස් වලට සමානයි. ලිනක්ස් භාවිතා කරන්නන්ට ඇති හොඳම ඉන්ටර්නෙට් ඇමතුම් ලබාගත හැකි මෘදුකාංගය දැන් ඉතින් අවිවාදයෙන්ම ස්කයිපි තමයි.

ස්කයිපි ස්ථාපනයට ප්‍රථමයෙන් ස්කයිපි භාවිතා කරන QT4 ලයිබ්‍රරිය “sudo yum install qt4 qt4-x11” විධානය දීමෙන් ස්ථාපනය කරගන්න.

ඉන්පසු http://www.skype.com/intl/en/download/skype/linux/choose/ වෙතින් ෆෙඩෝරා 7 සඳහා ඇති වෙලුම බාගත කරගන්න.

දැන් ලැබෙන rpm ගොනුව ධාවනයෙන් හෝ “sudo rpm -Uhv skype-2.0.0.xx-fc5.i586.rpm” විධානය දීමෙන් ස්කයිපි ස්ථාපනය කර ගත හැකියි.

ඔබ ෆෙඩෝරා 8 භාවිතා කරන්නෙක් නම් සමහරවිට ඔබට ශ්‍රව්‍ය වාදනයේ මෙන්ම ග්‍රහණයේත් (audio playback, audio capturing) ප්‍රශ්න ඇතිවීමට පුලුවන් පල්ස්ඔඩියෝ නිසා. ඔබට ශබ්දය ඇසෙන්නේ හෙඩ්ෆෝන් එකේ එක් පසෙකින් පමණක් නම් පහත රූපයේ ආකාරයට Sound In සහ Sound Out devices plughw:Intel,0 ලෙස සකස් කරන්න. එසේ කලවිටත් මයික්‍රොෆෝන් සහාය නැත්නම් ප්‍රශ්නය ඇත්තේ පල්ස්ඔඩියෝ වලයි.

ඔබට පල්ස්ඔඩියෝ අත්‍යාවශ්‍ය (මටනම් නැහැ) නැත්නම් ඉවත් කරන්න. වැඩි විස්තර සඳහා https://linux.wellassa.org/2007/11/pulseaudio.html බලන්න. ඉන්පසු Sound In සහ Sound Out devices, default ලෙස සැකසූ විට ඔබේ ප්‍රශ්නය නිරාකරණය වෙයි.

ස්කයිපි වල වෙබ්කෑම් සහාය ගැන මෙන්ම ලිනක්ස් එක්ක වෙබ්කෑම් සහ MiniDV සහ අනෙකුත් වීඩියෝ කැමරා සම්බන්ද කරන ආකාරය ගැන ලිපියක් ලඟදීම බලාපොරොත්තු වන්න.

මිරෝ – Miro ඔබේ පරිගණකය ඉන්ටර්නෙට් රූපවාහිණියක් කරගන්න

මිරෝ (Miro) කියන්නේ දෘෂ්‍ය ධාවකයක් වගේම ඉන්ටර්නෙට් වීඩියෝ මෙන්ම රූපවාහිණි සේවාවන් හා සම්බන්ධ වීමත් එකම අතුරුමුහුණතකින් ලබා ගැනිමේ පහසුකම සපයන මෘදුකාංගයක්.

මෙයින් ඉතා ඉක්මනින් යූ ටියුබ්, ගූග්ල් වීඩියෝ වැනි සේවාවන් බොහොමයකටම එකවර සම්බන්ධ විය හැකියි. ඉතින් දෘෂ්‍ය ගොනු සඳහා සෙවුම් යන්ත්‍රයක් ලෙසත් මිරෝ භාවිතා කල හැකියි. එසේම යූ ටියුබ් වැනි සේවාවන් මගින් ලබාදෙන ෆ්ලෑෂ් වීඩියෝ පරිගණකයේ සුරැකීමටත් මෙයට හැකියි. නොයෙකුත් ඉන්ටර්නෙට් වීඩියෝ චැනල හා සම්බන්ධ වීමේ හැකියාවත් මෙහි තිබෙනවා.

ෆෙඩෝරා සඳහා මිරෝ ස්ථාපනය “sudo yum install Miro” විධානය දීමෙන් කල හැකියි.

ලිනක්ස් වලදී නම් මිරෝ දෘෂ්‍ය ගොනු ධාවනය සඳහා භාවිතා කරන්නේ GStreamer හෝ Xine යාන්ත්‍රණයයි. ඉතින් ඔබට මිරෝ වල උපරිම ක්‍රියාකාරීත්වය සඳහා මේ ඉහත පහසුකමුත් ස්ථාපනයට සිදුවේවි. වැඩි විස්තර සඳහා, ලිනක්ස් සඳහා දෘෂ්‍ය ධාවක ස්ථාපනය ගැන සටහනක් මෙතනින් බලන්න.

Totem-Xine, Mplayer, RealPlayer සහ VLC

ෆෙඩෝරා වලට Download Manager (බාගත පරිපාලක)

ලිනක්ස් සඳහා ඔබ භාවිතා කරනා බාගත පරිපාලකය කුමක්ද? මගේ ප්‍රියතම මෙවලම් දෙකක් තමයි ඩවුන් දෙම් ඕල් (DownThemAll!) සහ මල්ටිගෙට් (Multiget) මෙයින් ඩවුන් දෙම් ඕල් කියන්නේ ෆයර්ෆොක්ස් එක්ස්ටෙන්ෂන් එකක්. මෙය ෆයර්ෆොක්ස් 2 සමග මෙන්ම ෆයර්ෆොක්ස් 3 බීටා 3 සමගත් හොඳින් ක්‍රියා කරනවා. නමුත් ෆයර්ෆොක්ස් 3 බීටා 4 සමගනම් තවම ක්‍රියා කරන්නේ නැහැ.

නමුත් මීට වඩා ක්‍රියාකාරීත්වයෙන් වැඩි තනිව ක්‍රියා කරන බාගත පරිපාලකයක අවශ්‍යතාව සමහරවිට අපිට මතු වෙනවා. මල්ටිගෙට් කියන්නේ ලිනක්ස් සඳහා ඇති ඉතා හොඳ බාගත පරිපාලකයක්. මෙය වින්ඩෝස් සඳහා අපි කවුරුත් දන්නා විශිෂ්ට මෘදුකාංගයක් වන ෆ්‍රී ඩවුන්ලෝඩ් මැනේජර් (Free Download Manager) හා යම් තරමකට සන්සන්දනාත්මකයි. (ෆ්‍රී ඩවුන්ලෝඩ් මැනේජර් විවෘත මෘදුකාංගයක් වුවත් එය භාවිතා කරන වින්ඩෝස් මෙවලම් නිසා ලිනක්ස් සඳහා පරිවර්තනය අසීරුයි)

රූපය: මල්ටිගෙට් අතුරුමුහුණත

මල්ටිගෙට් ෆෙඩෝරා සඳහා ස්ථාපනය “sudo yum install multiget” විධානය දීමෙන් සිදුකර ගට්ත හැකියි.

ඉන්ටර්නෙට් රේඩියෝ – BMPx සහ ලාස්ට්.එෆ්.එම්

පුළුල් පරාස ඉන්ටර්නෙට් සම්බන්ධතාත් සමග ඉන්ටර්නෙට් එකෙන්ම ගුවන්විදිලිය ශ්‍රවණයත් රූපවාහිණිය නැරඹීමත් දැන් වැඩිවෙලා තිබෙනවා. මේ සටහන් කරන්නේ ඉන්ටර්නෙට් රේඩියෝ සහ සංගීතය ගැනයි.

ෆෙඩෝරා වාගේම අනෙකුත් ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහාත් ඉතා ජනප්‍රිය ශ්‍රව්‍ය ධාවක දෙකක් තමයි ඇමරොක් (Amarok) සහ රිදම්බොක්ස් (Rythmbox). නමුත් මම කතාකරන්නේ මේ දෙකම ගැන නෙවෙයි. බී.එම්.පී.එක්ස් (BMPx) සහ ලාස්ට්.එෆ්.එම් (Last.FM) ගැන තමයි අද සටහන් කරන්නේ.

මුලින්ම ලාස්ට්.එෆ්.එම් ගැන කියනවානම් මේක සමාජ සංගීතයේ විප්ලවයක් කරපු සේවාවක්. මෙය යාහූ මියුසික් වැනි සේවාවක් සපයන අතරම එයට සම්බන්ධ වී ඇති භාවිතා කරන්නන්ගේ දත්ත ගබඩාවක් ලෙසින්ද ක්‍රියා කරනව. මෙහි ජනප්‍රියත්වයත් සමග දැනට භාවිතා වන සියළුම ශ්‍රව්‍ය ධාවක පාහේ ලාස්ට්.එෆ්.එම් සහාය ප්ලගින් මගින් දක්වනවා. ( වින්ඩෝස් මීඩියා ප්ලේයර්, ඇමරොක් මෙන්ම අයිටියුන්ස් පවා)

ලාස්ට්.එෆ්.එම් සමග සම්බන්ධ විය හැකි තවත් ධාවකයක් ඔවුන්ම හඳුන්වා දී තිබෙනවා. එය නම් කර ඇත්තේත් Last.fm නමින්මයි.

රූපය: last.fm ධාවකය

එසේම ලාස්ට්.එෆ්.එම් සේවාව සමග ඉතා හොඳින් සම්බන්ධ විය හැකි තවත් ධාවකයක් තමයි බී.එම්.පී.එක්ස් (BMPx). මෙම ධාවකයෙහි ආරම්භය ලිනක්ස් භාවිතාකරන්නන් හොඳින් දන්නා XMMS ට සම්භන්දයි. මෙයට ලස්ට්.එෆ්.එම් සේවාවට අමතරව ෂවුට්කාස්ට් (shoutcast) , අයිස්කාස්ට් (icecast) , පොඩ්කාස්ට් (podcast) මෙන්ම Jamendo සේවාවන් සමගත් සම්බන්ධ විය හැකියි.


රූපය: BMPx ධාවකය – කලාකරුගේ තොරතුරුත් සමග

රූපය: BMPx ධාවකය – තරුණයා.කොම් ෂවුට්කාස්ට් සේවාවට සම්බන්ධ වී ඇති අයුරු

ෆෙඩෝරා සඳහා ලාස්ට්.එෆ්.එම් RPM නිකුතුවක් නැතිමුත් මෙතැනින් උබුන්ටු deb පැකේජය බාගත කරගත හැකියි.. ඉන්පසු deb පැකේජය extract කර භාවිතා කල හැකියි. මෙය භාවිතා කරන්නේ නවතම qt4 අතුරුමුහුණතක් නිසා ඔබට සමහරවිට qt4 ස්ථාපනය කර ගැනීමටත් සිදුවේවි.
“sudo yum install qt4 qt4-config”

ෆෙඩෝරා සඳහා BMPx ස්ථාපනයට
“sudo yum install bmpx gstreamer-plugins-ugly gstreamer-plugins-bad”
යන විධානය ලබාදෙන්න.

DVD රිප් කරමු – K3B සහ k9copy

කාලෙකට පසුව නැවතත් සටහනක් තබන්නේ DVD රිප් කිරීම නැතහොත් DVD එකක් MPEG-4 දෘෂ්‍ය කේතනයකට හරවා දෘඩ තැටියේ සුරැකීම ගැනයි. මෙහිදී ලිනක්ස් වලින් DVD එකක් DIVX, XVID හෝ ISO MPEG-4 වලට හරවාගැනීම ගැන සලකමු.

වින්ඩෝස් වලදී නම් මේ දේ කරගැනීමට අනේකවිධ යෙදුම් තිබෙනවා. මගේ ප්‍රියතම මෘදුකාංගය තමයි AutoGK. නමුත් ලිනක්ස් වලින් පසුගිය දිනක DVD එකක් රිප් කරගැනීමට යාමේදී මුහුණදුන් ගැටළුව වුණේ මේ දේ කරගැනීමට පුලුවන් මෘදුකාංගයක් මගේ පරිගණකයේ නැතිකමයි.

ඉතින් ලිනක්ස් සඳහා ඇති විකල්ප මොනවාද? මේ සඳහා විශිෂ්ට යෙදුම් කිහිපයක්ම තිබෙනවා. ඒ තමයි MEncoder, Transcode සහ ffmpeg. මේ සෑම යෙදුමක්ම විධාන පෙල අතුරුමුහුණතකින් (CLI) සමන්විතයි. එනිසා කෙතරම් විශේෂාංග තිබුණත් මේ මෘදුකාංග භාවිතය නම් තරමක් අපහසුයි.

වින්ඩෝස් මෘදුකාංග ආකාරයෙන්ම මේ දේ පහසුවෙන්ම කරගැනීමට පුලුවන් ලිනක්ස් මෘදුකාංග දෙකක් තමයි K3B සහ k9copy. අපි බොහෝ දෙනෙක් CD සහ DVD ලිවීම සඳහා K3B භාවිතා කලත්  DVD රිප් කිරීමටත් එය භාවිතා කල හැකි බව ගැන දැනුවත් නැහැ. K3B මේ සඳහා භාවිතා කරන්නේ Transcode යාන්ත්‍රණයයි. ඉතින් පලමුවෙන්ම Transcode ස්ථාපනය කරගත යුතු වෙනවා. මේ සඳහා "sudo yum install transcode" විධානය දෙන්න. (ලිව්නා රිපොසිටරිය සක්‍රීය දැයි පිරික්සන්න). දැන් "sudo yum install k3b k3b-extras-nonfree" විධානය දීමෙන් K3B ස්ථාපනය කර ගත හැකියි.

Screenshot-Video DVD Ripping - K3bScreenshot-(24%) Ripping Video DVD Titles - K3b

රූපය: K3B මගින් DVD රිප් කිරීම

ඔබ සමහරවිට DVDShrink නම් වූ මෘදුකාංගයක් භාවිතා කර ඇති. මෙයින් කරන්නේ විශාලත්වයෙන් වැඩි DVD එකක් කුඩා කිරීමයි. බොහෝ විට DVD9 තැටියක් DVD5 තැටියකට පිටපත් කිරීමට මෙය යොදාගන්නවා. ලිනක්ස් සඳහා ඇති k9copy නම් වූ මෘදුකාංගයේත් මේ පහසුකම තිබෙනවා. එපමණක් නෙවෙයි DVD රිප් කිරීමටත් මේ k9copy ම යොදා ගැනීමට පුලුවන්. මෙය භාවිතා කරන්නේ MEncoder  යාන්ත්‍රණයයි. MEncoder ස්ථාපනය සඳහා "sudo yum install mencoder mplayer" විධානය දෙන්න. (ලිව්නා රිපොසිටරිය සක්‍රීය දැයි පිරික්සන්න). ඉන්පසු "sudo yum install k9copy" විධානය දීමෙන් k9copy ස්ථාපනය කරගත හැකියි.

Screenshot-k9copy

රූපය: k9copy මගින් DVD රිප් කිරීම

මෙම මෘදුකාංග වලට අමතරව තවත් ජනප්‍රිය යෙදුම් දෙකක් මා දුටුවා. ඒ තමයි dvd:rip සහ acidrip. මේ මෘදුකාංග දෙකත්  Transcode සහ MEncoder යාන්ත්‍රණ භාවිතා කරනවා. ස්ථාපනය සඳහා freshrpms රිපොසිටරිය සක්‍රිය කල යුතු අතර එසේ කිරීමේදී යම් ගැටලු පැනනැගුනු නිසා ඒ ගැන විස්තර පසුව සඳහන් කරන්නම්.

බිට් ටොරන්ට් සහ ලිනක්ස්

සම-සම ජාලකරණයේ (peer to peer networking) වඩාත්ම ජනප්‍රිය භාවිතය තමයි බිට්ටොරන්ට්. ලිනක්ස් සඳහා ඇති සේවාලාභී බිට්ටොරන්ට් මෘදුකාංග (BitTorrent Clients) රාශියක් අතරින් මා ෆෙඩෝරා සඳහා භාවිතා කරන මෘදුකාංග ගැන සටහනක් තැබිමයි මේ කරන්නේ.

ෆෙඩෝරා වල ග්නොම් සඳහා පෙරනිමියෙන්ම ස්ථාපනය වී ඇති බිට්ටොරන්ට් මෘදුකාංගය තමයි ට්‍රාන්ස්මිෂන් (Transmission). එය සියළුම බිට්ටොරන්ට් මූලිකාංග වලින් සමන්විත සරල වේගවත් සැකසුමක්. භාවිතය ඉතාම පහසුයි. අන් සියළුම ග්නොම් මෘදුකාංග වගේම ඉතා සරල අතුරුමුහුණතකින් සමන්විතයි. මෙමරි පරිභෝජනයත් ඉතා අඩුයි.

රූපය: ට්‍රාන්ස්මිෂන්හි සරල අතුරුමුහුණත

සරල වීම නිසාම මෙහි ක්‍රියාකාරීත්වයත් යම් තරමකට සීමාසහිතයි. ට්‍රාන්ස්මිෂන් වල මා දුටු තවත් දුර්වලකමක් නම් බාගත කරන ගොනු අධික ලෙස දෘඩ තැටිය පුරා විසිරී (fragmented) තිබීමයි. ඉතින් ට්‍රාන්ස්මිෂන් වලට වඩා පහසුකම් වැඩි මෘදුකාංගයක් සමහරවිට අපට අවශ්‍ය වෙනවා.

රූපය: ට්‍රාන්ස්මිෂන් – බාගත කරන ටොරන්ට් එකෙහි විස්තර

VirtualBox – මගේ ප්‍රියතම අතථ්‍ය යන්තරේ

ඔබ ලිනක්ස් සඳහා ඇති අතථ්‍ය යන්ත්‍ර (Virtual Machines) ගැන උනන්දුවක් දක්වනවාද? අතථ්‍ය යන්ත්‍රයක් කිව්වාම බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ VMware, Qemu වැනි විසඳුම් තමයි. වින්ඩෝස් සඳහා නම් Microsoft Virtual PC ත් තියෙනවා. නවතම ක්‍ෂුද්‍රසකසන (Microprocessors) අතථ්‍යකරණ සහාය දෘඩාංග මට්ටමින්ම (Hardware Virtualization) දක්වන නිසා මේ අතථ්‍ය යන්ත්‍ර දැන් පෙරට වඩා ඉතා වේගවත්.

VirtualBox කියන්නේ තවත් අතථ්‍ය යන්ත්‍ර විසඳුමක්. ලිනක්ස් සඳහා මෙන්ම වින්ඩෝස් සඳහාත් වෙලුම් පවතිනවා. ඉහත කී අතථ්‍ය යන්ත්‍ර වල ඇති සියලුම විශේෂාංග කැටි කරගත්ත VirtualBox විවෘත කේත මෘදුකාංගයක්. මා ෆෙඩෝරා සමග VirtualBox දැන් කලක පටන්ම භාවිතා කරනවා.

මා භාවිතා කර ඇති අතථ්‍ය යන්ත්‍ර අතුරින් භාවිතාව පහසුම හා වේගවත්ම විසඳුම වන්නේ VirtualBox. ස්ථාපනය සහ භාවිතාව ඉතාම පහසුයි. ඉතින් ඔබටත් තවත් මෙහෙයුම් පද්ධතියක් අත්හදා බැලීම වැනි අතථ්‍ය යන්ත්‍ර විසඳුමක් අවශ්‍ය විට VirtualBox යොදා ගන්න. VirtualBox, Qemu සහ VMware ගැන සන්සන්දනයක් සඳහා පහත යොමුව පිරික්සන්න.

http://www.linux-gamers.net/modules/smartsection/item.php?itemid=56

රූපය: VirtualBox ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතිය තුල වින්ඩෝස් 2000 මෙහෙයුම් පද්ධතිය ධාවනය කරමින්.



රූපය: VirtualBox අතුරුමුහුණත්

VirtualBox
ස්ථාපනය සඳහා පහත යොමුවට යන්න.

http://www.virtualbox.org/wiki/Downloads

ගූගල් ඩෙස්ක්ටොප් – සෙවුම් සහ දිවැවුම්

වසර 2004 දි විතර කරලියට ආව ගූග්ල් ඩෙස්ක්ටොප් සෙවුම් යන්ත්‍රය වින්ඩෝස් සඳහා නම් ඉතාම ජනප්‍රියයි. කොතරම් ජනප්‍රිය වුනාද කියනවනම් මයික්‍රොසොෆ්ට් සමාගමටත් ඔවුන්ගේ සාම්ප්‍රදායික සෙවුම් යාන්ත්‍රණය වෙනුවට වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් සර්වර් 2008 සමග මීට ක්‍රියාකාරීත්වයෙන් සමාන වින්ඩෝස් සර්ච් නම් මෙවලමක් හඳුන්වා දුන්නා.

මෙහි තිබෙන වාසිය තමයි ඔබේ පරිගණකයේ තිබෙන ගොනු, ස්ථාපිත මෘදුකාංග මෙන්ම ඉන්ටර්නෙට් එකද එකම අතුරුමුහුණතකින් සෙවීමට හැකිවීමයි. ගූග්ල් ඩෙස්ක්ටොප් ගොනු සෙවීමට විතරක් නෙවෙයි අපිට අවශ්‍ය මෘදුකාංග ඉතා ඉක්මනින් ධාවනය කිරීම සඳහාත් යොදාගන්න පුලුවන්. මෙය භාවිතා කරන සෙවුම් යන්ත්‍රය ඉතාම වේගවත්. පරිගණකය පිළිබඳ තොරතුරු සූචිකරණය (Indexed) කර භාවිතා කරන නිසා ලබා දෙන ප්‍රතිඵලත් විස්තර සහිතයි.

රූපය: ගූග්ල් ඩෙස්ක්ටොප් මගින් ගොනු සෙවීම, විස්තර සහිත ප්‍රතිඵල පිරික්සන්න

ගූග්ල් ඩෙස්ක්ටොප් මෙවලම ලිනක්ස් සඳහා මුදාහැරුණේ 2007 ජුනි මාසයේදි විතර. මේ මාස කිහිපය තුලදිම එය ලිනක්ස් සඳහා නැතුවම බැරි මෘදුකාංගයක් වෙලා. ඇත්තෙන්ම ලිනක්ස් සඳහා ගූග්ල් දායක්ත්වය ප්‍රශංසනීයයි.

ගූග්ල් ඩෙස්ක්ටොප් ලිනක්ස් වල අගය වැඩිකරනවා තවත් විදිහකින්. ඒ තමයි ඉතා කාර්‍යක්ෂම මෘදුකාංග ධාවකයක් (Application Launcher) ලෙස ක්‍රියා කිරීමෙන්. ඇත්තෙන්ම කාර්යක්ෂම මෘදුකාංග ධාවකයක් නූතන ඩෙස්ක්ටොප් එකක අනිවාර්ය අංගයක්. වින්ඩෝස් සඳහා ලෝන්චි (Launchy) මෙන්ම මැක් (Mac OS) සඳහා කිවික් සිල්වර් (QuickSilver) වැනි ආකර්ශනීය මෙවලම් තිබුණත් ලිනක්ස් තරමක් පසුපසිනුයි සිටියේ. නමුත් ගූග්ල් ක්ෂණික සෙවුම් කවුළුව (Quick Search Box) මේ අඩුව සෑහෙන දුරකට පුරවනවා. ඔබට අවශ්‍ය ගොනු සෙවීම මෙන්ම මෘදුකාංග ධාවනයත් මූසිකය අල්ලන්නේ නැතිවම කරගත හැකියි.

රූපය: ගූග්ල් ක්ෂණික සෙවුම් කවුළුව – CTRL+CTRL එබීමෙන් දියත් කරන්න

ෆෙඩෝරා සඳහා ගූග්ල් ඩෙස්ක්ටොප් පිහිටුවාගැනීමට පහත සබැඳියට යන්න.

හැබැයි ඉතින් ගූග්ල් වින්ඩෝස් වෙලුමේ ඇති ගූග්ල් ආයිත්තම් (Gadgets – ගැජට්ස් ) නම් තවමත් ලිනක්ස් සඳහා නිකුත් කර නැහැ. නුදුරු අනාගතයේදීම ඒ සඳහා සහායත් ලැබෙයි කියලා අපි හිතමු. ඒ වෙනතුරු අපිට gDesklets, superKaramba හෝ Screenlets භාවිතා කල හැකියි. වැඩි විස්තර ඉදිරි සටහනකින් බලාපොරොත්තු වෙන්න.