ස්ටලේරියම් (Stellarium) – ග්‍රහලෝකාගාරය ඔබේ නිවසට

ස්ටලේරියම් Stellarium කියන්නේ අංග සම්පූර්ණ ග්‍රහලෝකාගාරයක පහසුකම් ඇති විවෘත කේත මෘදුකාංගයකුයි.. ඇත්තෙන්ම සමහර ග්‍රහලෝකාගාර පවා තමන්ගේ ප්‍ර්ක්ෂේපන සඳහා ස්ටලේරියම් භාවිතා කරනවා. මෙමගින් පෙරනිමියෙන්ම තාරකා හයසිය දහසකට වඩා දිස්වන අතර එය මිලියන 210 දක්වා වැඩි කර ගත හැකියි. තරු මෙන්ම තරු රාශි දිස්වන ආකාරයද දැක ගත හැකියි.

මෙමගින් අහස සජීවීව දැක බලාගත හැකියි. අහස දිස්වන්නේ OpenGL මගින් විහිදුවන  ත්‍රිමාණ සජීවීකරණයක් ලෙසයි.

රූපය: චන්ද්‍රයා

රූපය: තරු රාශි

රූපය: සෙනසුරු තම චන්ද්‍රයන් සමග

තිරවිකාශය : ස්ටලේරියම් ග්‍රහණය කලේ Isthanbul මගිනි

ෆෙඩෝරා සඳහා ස්ටලේරියම් පිහිටුවාගැනීමට පහත විධානය දෙන්න.

“sudo yum install stellarium”

ඔබේ තිර-රක්නය Really Slick වලින් හැඩ වැඩ කරගන්න!

ඔබත් තිර-රකිනයක් භාවිතා කරනවද? ඇසේ විඩාව දුරු කර ගැනීමට? (තිරය හෝ විදිලිය රකින්න නම් තිර-රකින භාවිතා නොකර ඔබේ පරිගණකයේ ACPI පහසුකම් භාවිතා කරන්න ! )

ඉතින් පෙරනිමියෙන්ම ස්ථාපිත තිර-රකින හැමදාම දකින විට එපා වෙනවනේ. ඉතින් ග්නු-ලිනක්ස් සඳහා ඇති තිර-රකින වින්ඩෝස් වලට සාපේක්ෂව ඉතා අඩුයි. විශේෂයෙන්ම ත්‍රිමාණ තිර-රකින. මේ කියන්නේ ඒ අඩුව පිරවිය හැකි තිර රකිනයක් වන Really Slick ගැනයි.

කාලයක සිටම මා ප්‍රියකරපු (වින්ඩෝස් වල) තිර-රක්න එකතුවක් තමයි Really Slick. අනෙක් කරුණ තමයි මෙය නොමිල මෘදුකාංගයක් වීම. ඉතින් වින්ඩෝස් වාගේම ලිනක්ස් සඳහාත් Really Slick තිර-රකින තිබෙනවා කියලා මා දැන ගත්තේ මෑතකදීයි. දැන් Really Slick නොමිල පමණක් නෙවෙයි විවෘත මෘදුකාංගයක්.

ෆෙඩෝරා වගේම අනෙකුත් බොහොමයක් ග්නු-ලිනක්ස් මෙහෙයුම් පද්ධතීන් දැන් භාවිතා කරන්නේ x-screensaver වෙනුවට gnome-screensaver හෝ kde-screensaver එකකුයි. ඉතින් පහත විධානය දීමෙන් ඔබට Really Slick තිර-රකිනය GNOME හෝ KDE සඳහා පිහිටුවා ගැනීමට පුළුවන්.

  • GNOME සඳහා

“sudo yum install rss-glx rss-glx-gnome-screensaver”

  • KDE සඳහා

“sudo yum install rss-glx rss-glx-kde”

දැන් ඉතින් “System->Preferences->Look and Feel->Screensaver” වෙත යාමෙන් ඔබට අවශ්‍ය තිර-රකිනය තෝරාගන්න.

ෆෙඩෝරා 8 සිට ෆෙඩෝරා 9 වෙත preupgrade තුලින්

ෆෙඩෝරා 9 අළුත්ම නිකුතුව නිකුත් වුනේ පසුගිය මැයි 13 වැනිදායි. මදක් පමා වී වුණත් මේ සටහන ලියන්නේ ෆෙඩෝරා 9 ස්ථාපනය කිරීමේදී ප්‍රයෝජනවත් විය හැකි නිසයි.

අළුත් විශේෂාංග ගණනාවක් සමගම එන ෆෙඩෝරා 9 පිහිටුවාගැනීමට ඇති පහසුම ක්‍රමය නම් ෆෙඩෝරා -9 DVD එක භාවිතා කිරීමයි.

මෙමගින් නැවුම් ස්ථාපනයක් වගේම ඔබ දැනටමත් ෆෙඩෝරා 7 හෝ ෆෙඩෝරා 8 භාවිතා කරනවා නම් එය ෆෙඩෝරා 9 දක්වා නැංවීමටද (upgrade) පුලුවන්.

නමුත් ඔබ දැනටමත් භාවිතා කරන ෆෙඩෝරා (7 හෝ 8 ) මෙහෙයුම් පද්ධතිය ඔබට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගෙන ඇතිවාට නිසැකයි. මෙහිදී ඔබ ෆෙඩෝරා 9 DVD එකේ ඇති සමහරක් පැකේජ භාවිතා නොකරනවා වීමට පුළුවන්. එසේම ඔබ භාවිතා කරන සමහර මෘදුකාංග DVD එක තුල නැතුවා වීමටත් පුලුවන්.

ඉතින් ඔබ භාවිතා කරන මෘදුකාංග පමණක් ලබාගෙන ෆෙඩෝරා 9 ස්ථාපනයට නොහැකිද? (මෙයින් ඔබ බාගත කල යුතු දත්ත ප්‍රමාණය සැලකිය යුතු ලෙසකින් අඩු වෙනවා)

පුලුවන් මේ සඳහා ක්‍රම දෙකක්ම තිබෙනවා. පලමු සහ වඩා විශ්වාසදායී ක්‍රමය නම් ප්‍රී-අප්ග්‍රේඩ් (preupgrade) භාවිතා කිරීමයි.

ප්‍රී-අප්ග්‍රේඩ් (preupgrade) උපදෙස් මාලාව

  1. පලමුව ඔබ දැනටම භාවිතා කරන අනවශ්‍ය මෘදුකාංග සියල්ලම ඉවත් කරන්න. විශේෂයෙන්ම සැක කටයුතු තෙවන පාර්ශවීය මෘදුකාංග ඉවත් කරන්න. (මෙලෙස කල විට ඔබ බාගත කරන දත්ත ප්‍රමාණයත් අඩුවෙනවානේ)
    • VirtualBox පිහිටුවා ඇත්නම් ඉවත් කරන්න
    • totem-xine පිහිටුවා ඇත්නම් ඉවත් කරන්න (පසුව නැවත පිහිටුවා ගත හැකියි)
  2. ඔබ ලිව්නා, ඇඩෝබි, ගූග්ල් වැනි මූල මගින් ස්ථාපනය කර ඇති මෘදුකාංග ඉවත් කල යුතු නැහැ.
  3. ඉන්පසු preupgrade පිහිටුවා ගන්න. මේ සඳහා “sudo yum install preupgrade” විධානය දෙන්න.

දැන් විධාන පෙලේ preupgrade විධානය දීමයි කල යුත්තේ.

  • මෙම මෙවලම ප්‍රථමයෙන්ම ඔබ දැනට භාවිතා කරන මෘදුකාංග පිරික්සා බාගත කලයුතු පැකේජ සොයා ගන්නවා.
  • දෙවනුව එම පැකේජ පමණක් බාගත කරනවා. උදාහරණයක් විදිහට ඔබා භාවිතා කරන්නේ KDE පමණක් නම් එය බාගත කරන්නේත් KDE වලට අදාල පැකේජ පමණයි. ඔබේ ඉන්ටර්නෙට් සම්බන්ධතාව අනුව මේ සඳහා පැය කිහිපයක්ම ගත විය හැකියි. මේ අතරතුර ඔබට සුපුරුදු ලෙසම පරිගණකය භාවිතාවටද හැකියි.
  • අවසානයේදී ඔබ පරිගණකය නැවත පණගැන්වූ පසු ඔබට දිස්වෙන, boot මෙනුවේ ෆෙඩෝරා 9 සඳහා නැංවීමේ මෙනු අයිතමයක්ද තිබෙනවා.
  • දැන් ඉතින් ඔබේ පරිගණකයේ දැනටම ඇති පැකේජ සියල්ලම ෆෙඩෝරා 9 සඳහා නැංවෙනු ඇති. (මේ සඳහාත් පැය කිහිපයක් ගතවීමට පුළුවන්)

මෙලෙස ෆෙඩෝරා 9 පිහිටුවාගත් පසු ඔබ පලමුවෙන්ම කල යුත්තේ ඔබ දැනටමත් භාවිතා කරන තෙවන පාර්ශවීය මෘදුකාංග මූල (Software Repositories) ෆෙඩෝරා 9 සඳහා යාවත් කිරීමයි. (දැන්ම ෆෙඩෝරා 9 යාවත් කිරීමට උත්සාහ කරන්න එපා)

  • ලිව්නා මූලය යාවත් කිරීමට “sudo rpm -Uhv http://rpm.livna.org/livna-release-9.rpm” විධානය දීමෙන් කල හැකියි.
  • ගූග්ල්, ඇඩෝබි, ස්කයිපි වැනි මූල යාවත් කීරීම අනවශ්‍යයි.

ඉන්පසු “sudo yum update” විධානය දීමෙන් තෙවන පාර්ශවීය මෘදුකාංග ඇතුලුව ෆෙඩෝරා 9 යාවත් කල හැකියි.

ෆෙඩෝරා 9 ට නැංවිය හැකි දෙවන ක්‍රමය නම් yum මගින් නැංවීමයි. (a yum upgrade). මෙහිදී ඔබේ පද්ධතිය නැංවීම කරන්නේ ඔබේ පරණ මෙහෙයුම් පද්ධතිය ධාවනය වෙමිනුයි. (අපි කියනවා ලයිව් අප්ග්‍රේඩ් එකක් කියා). මෙමගිනුත් බොහෝ දුරට සාර්ථක ප්‍රතිඵල ලැබෙන මුත් preupgrade තරමටම විශ්වාසදායී නැහැ.

මා මේ ක්‍රම දෙකෙන්ම සාර්ථකව ෆෙඩෝරා 9 ස්ථාපනය කලා. ඉතින් yum upgrade ගැන ඉදිරි දිනකදී කථා කරමු.

Rar, Ace සහ 7Zip ගොනු Extract කිරීම

සමහර අවස්ථාවලදී අපිට අවශ්‍ය වෙනවා zip වලට අමතරව, rar, ace, 7zip වැනි ක්‍රම වලින් සම්පීඩිත ගොනු දිගහැරීමට. ඉතින් ග්නොම් වල අපි භාවිතා කරන ෆයිල් රෝලර් (file roller) මගින් මේ ගොනු දිගහැරීමට හැකිද?

පුලුවන්, නමුත් ප්‍රථමයෙන් මේ සඳහා unrar, unace සහ p7zip යන විධාන පෙල මෙවලම් පිහිටුවා ගත යුතුයි. මේකයි දියයුතු විධානය:

“sudo yum install unrar unace p7zip”

unrar සහ unace යනු විවෘත මෘදුකාංග නොවන නිසා ඒවා ස්ථාපනයට නම් ලිව්නා මූලය සක්‍රීය කර තිබිය යුතුයි.

එසේම ඔබට මේ ස්ථාපනයෙන් පසුව එවින්ස් (Evince) මගින් .cbr කොමික් බුක් (Comic Books) නැරඹීමේ හැකියාවත් ලැබෙනවා.

විධාන රේඛාවෙන් බයිස්කෝප් බැලීම

විධාන රේඛාවෙන් බයිස්කෝප් බැලීම ගැන සිංහලෙන් ෆොස් අඩවියේ තිබුනු ලිපිය දුටුවාම එක්වරම හිතට නැගුනේ mplayer දෘෂ්‍ය ධාවකයේ ඇති ascii-art සහ color-ascii-art දෘෂ්‍ය ප්‍රතිදාන පහසුකම ගැනයි. මෙමගින් ඔබේ පරිගණකයේ හෝ ඉන්ටර්නෙට් URL එකක වුව ඇති ඕනෑම දෘෂ්‍ය ගොනුවක් විධාන රේඛාවේ සිටම නැරඹීමට සලස්වනවා.

පලමුව දැනටමත් ඔබ mplayer පිහිටුවා නැත්නම් එය පිහිටුවාගන්න. මේ සඳහා “sudo yum install mplayer” විධානය දෙන්න. (ලිව්නා මූලය සක්‍රීය වී තිබිය යුතුයි. වැඩි විස්තර සඳහා මෙතන බලන්න)

දැන් ඉතින් කල යුත්තේ විධාන රේඛාවේ සිට පහත විධානය දීමයි. ඔබට මේ විධානය gterm, xterm වැනි X මත දිවෙන අග්‍රයක හෝ X සර්වරය පණගන්වන්නේ නැතිව කෙලින්ම විධාන රේඛාවේ වුවත් දිය හැකියි.

“mplayer -vo aa yourMovie.avi”

මෙහි yourMovie.avi යන්න ඔබට ධාවනය කල යුතු ගොනුවෙන් හෝ ඉන්ටර්නෙට් URL එකින් යාවත් කරගන්න. තවදුරටත් ඔබට වර්ණ පින්තූර අවශ්‍ය නම් මේ විධානය දිය හැකියි.

“mplayer -vo caca yourMovie.avi”

රූපය: color ascii-art ප්‍රතිදානය

ඔබ nvidia දෘෂ්‍ය කාඩ්පතක් ඇත්නම් මේ විධානයත් දී බලන්න. ( හැබැයි ප්‍රථමයෙන්ම ඔබේ  nvidia දෘෂ්‍ය කාඩ්පත සඳහා ෆෙඩෝරා පෙරනිමි ධාවක වෙනුවට ලිව්නා මූලය මගින් සපයන kmod-nvidia ධාවකය ස්ථාපිත කරගන්න අමතක කරන්න එපා)

“mplayer -vo cvidix yourMovie.avi”

ග්නු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ශ්‍රව්‍ය දෘෂ්‍ය පද්ධතීන් පරීක්ෂාව

ඔබ වින්ඩෝස් භාවිතා කර ඇත්නම් DirectX Diagnostic මෙවලම භාවිතා කර ඇතිවාට නිසැකයි. මෙහිදී ඔබේ පරිගණකයේ ශ්‍රව්‍ය දෘෂ්‍ය පද්ධතීන්හි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට පුලුවන්. විශේෂයෙන්ම මෘදුකාංගයක් මගින් ශ්‍රව්‍ය දෘෂ්‍ය දෘඩාංග ඍජුවම භාවිතා කිරීමේ හැකියාව (Direct Hardware Access) නැතහොත් Hardware Acceleration පරීක්ෂා කිරීමටත් මේ DirectX Diagnostic මෙවලමෙන් පුලුවන්. ඉතින් මේ මෙවලමේ පහසුකම් ලිනක්ස් වලින් ලබා ගන්නා අයුරු සලකා බලමු.

පලමුවෙන් හඳුන්වාදෙන මෙවලම තමයි gstreamer-properties. මෙය ඔබේ ෆෙඩෝරා ඩෙස්ක්ටොප් පරිගණකයක (උබුන්ටු/ඩේබියන් වල වුවත්) පෙරනිමියෙන්ම ස්ථාපිතවී ඇති මෘදුකාංගයක්. ධාවනය සඳහා ග්නොම් අග්‍රයේ “sudo gstreamer-properties” යන විධානය දෙන්න.මෙහිදී ඔබට පහත පෙනෙන “Multimedia System Selector” සංවාද කවුළුව දිස්වෙනු ඇති.

මෙම මෙවලම ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ gstreamer නම්වූ ශ්‍රව්‍ය දෘෂ්‍ය යාන්ත්‍රණය භාවිතා කරන මෘදුකාංග වල (gstreamer යනු ග්නොම් හි පෙරනිමි ශ්‍රව්‍ය දෘෂ්‍ය යාන්ත්‍රණයයි) පෙරනිමි සැකසීමටයි. නමුත් මෙම මෙවලමට එක් එක් ශ්‍රව්‍ය දෘෂ්‍ය පද්ධතීන් පරීක්ෂා කිරීමේ හැකියාවත් සතුයි.මෙමගින් පරීක්ෂා කල හැකි පරීක්ෂාවන්: (මෙම පරීක්ෂා ඔබේ පරිගණකයේ ස්ථාපිත ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්ලගින අනුව වෙනස් විය හැකියි.)

  • ALSA, OSS, Pulseaudio වැනි ශ්‍රව්‍ය ප්‍රතිදාන සහ ප්‍රදාන පද්ධතීනුත් (Sound ouput & Input);
  • XV, SDL, XShm, X11 වැනි දෘෂ්‍ය ප්‍රතිදාන පද්ධතීන්
  • V4L, V4L2 යන දෘෂ්‍ය ප්‍රදාන පද්ධතීන්

රූපය: දෘෂ්‍ය ප්‍රතිදාන පරීක්ෂාවක්

ඉහත පරීක්ෂා සමහරකින් ශ්‍රව්‍ය දෘෂ්‍ය දෘඩාංග ඍජුවම භාවිතා කිරීමේ හැකියාව (Direct Hardware Access)පිරික්සීමත් කෙරෙනවා (උදා. XV, SDL, ALSA සහ V4L2). මේ පරීක්ෂා කිරීම ඉතා ලෙහෙසියි. කලයුත්තේ අවශ්‍ය ප්‍රතිදාන හෝ ප්‍රදාන ප්ලගිනය තෝරා ටෙස්ට් බොත්තම එබීම පමණයි.

ඉහත පරීක්ෂාවන්ගේ නැති තවක් එක් අත්‍යාවශ්‍ය දෘෂ්‍ය පරීක්ෂාවක් තිබෙනවා. ඒ තමයි GLX/OpenGL පරීක්ෂාව. විශේෂයෙන්ම ඔබට ත්‍රිමාණ (3D) පරිගණක ක්‍රීඩා ආදිය ධාවනය කිරීමට නම් GLX Direct Rendering සහ OpenGL DRI සහාය අත්‍යාවශ්‍යයි. මේ පරීක්ෂාව සඳහා “sudo glxinfo” විධානය දෙන්න. මෙහිදී ඔබට ඔබේ දෘෂ්‍ය කාඩ්පත මගින් සහාය දක්වන සියළුම GLX සහ OpenGL එක්ස්ටෙන්ෂන් පිළිබඳ තොරතුරු ලබාගත හැකියි. ඔබේ දෘෂ්‍ය කාඩ්පත සඳහා සරල OpenGL පරීක්ෂාවක් කිරීමට “glxgears” විධානය දෙන්න.

පහත දක්වා ඇති සරල ෂෙල් ස්ක්‍රිප්ට් එක මගින් ඔබේ දෘෂ්‍ය දෘඩාංග සඳහා OpenGL benchmark එකක් කිරීම සහ ඔබේ දෘෂ්‍ය පද්ධතියේ තොරතුරු සැකෙවින් ලබාගත හැකියි.

  • පලමුව මෙතැනින් bench.sh ගොනුව බාගත කරගන්න.
  • ඉන්පසු ගොනුව බාගත වූ ඩිරෙක්ටරියේ සිට “sudo sh bench.sh” විධානය දීමෙන් එය ධාවනය කරන්න.

එමෙන්ම Quake -III වැනි 3D ක්‍රීඩා මගින්ද සවිස්තර OpenGL පරීක්ෂාවක් කල හැකියි.

රූපය: glxgears පරීක්ෂාව්

අවසාන වශයෙන් කිව යුත්තේ ඔබ භාවිතා කරන්නේ Nvidia හෝ ATI Radeon දෘෂ්‍ය කාඩ්පතක් නම් ෆෙඩෝරා වල පෙරනිමියෙන් ස්ථාපනය වන ධාවකය (Video Driver) මගින් එහි උපරිම ප්‍රයෝජනය ගත නොහැකි බවයි. ඉතින් මේ සඳහා එම නිෂ්පාදකයින් විසින් සපයන Video Driver එක ස්ථාපනය කර ගත යුතුයි. මේ සඳහා පහත විධානය දෙන්න. (ප්‍රථමයෙන්ම ලිව්නා මූලය සක්‍රීය කිරීමට වග බලාගන්න)

ඔබ භාවිතා කරන්නේ Nvidia නම්

“sudo yum install kmod-nvidia”

ඔබ භාවිතා කරන්නේ ATI Radeon නම්

“sudo yum install kmod-ati”

මේ පිළිබඳ වැඩි විස්තර මෙතනින් බලන්න.

http://rpm.livna.org/rlowiki/LivnaSwitcher

ලිනක්ස් සහ HDA මෝඩම්

පූර්විකාව

අළුත් අවුරුද්දට බදුල්ලේ සිට නිවසට ආවේ දවස් කිහිපයක නිවාඩුවක් ගත කිරීමටත් එක්කයි. ඔබට මතක ඇති මා මීට පෙර සටහනක් තැබුවා ජංගම දුරකථනයක් හෝ CDMA දුරකථනයක් ලිනක්ස් සමග සම්බන්ධ කරන ආකාරය ගැන. නමුත් ඉතින් මගේ නිවසේ තිබෙන්නේ ටෙලිකොම් රැහැන් දුරකථන සබඳතාවකුයි. කොහමටත් ඉතින් කිලෝ බයිටයකට ශත දෙක බැගින් අයකරන GPRS ගාස්තු වලට වඩා අඩු නිසා මා තීරණය කලා ටෙලිකොම් රැහැන් දුරකථනයෙන් ඉන්ටර්නෙට් හා සම්බන්ධ වීමට. ඉතින් දැන් නිවසේ සිට ඉන්ටර්නෙට් හා සම්බන්ධ වීමට නම් මොඩම් එකක අවශ්‍යයි නේ. මා භාවිතා කරන ජංගම පරිගණකයේ අභ්‍යන්තර මොඩමයක් ඇතිමුත් මෙතෙක් එය ලිනක්ස් සඳහා භාවිතා කිරීමේ අවශ්‍යතාවක් නම් මතුවූයේ නැහැ. ප්‍රශ්නය මතුවුනේ මේ අභ්‍යන්තර මොඩමය ස්ථාපනයේදීයි.

සටහන

පලමු පියවර වුනේ අභ්‍යන්තර මොඩමය හඳුනාගැනීමට උත්සාහ කිරීමයි. මේ සඳහා මා භාවිතා කලේ පරිගණකයේ PCI, PCIExpress, AGP ආදී Bus වලට සම්බන්ධ කර ඇති උපාංග ගැන විස්තර ලබාදෙන lspci විධානයයි. (මෙහිදී ඔබ root ලෙස ලොග් වී ඇතිනම් /sbin/ අවශ්‍ය වන්නේ නැහැ. lspci හි ප්‍රතිධානය කියවීමේ පහසුව තකා less වෙත හරවා යවා තිබෙනවා).
“sudo /sbin/lspci | less”
නමුත් මොඩමයක් ගැන සඳහනක් වත් ඉහත විධානයෙන් පිටවූයේ නැහැ. ඉතින් වැඩි විස්තර ලබාදෙන “sudo /sbin/lspci -vv | less” දුන්නත් ප්‍රතිඵලය එලෙසමයි. මොඩමයක් ගැන කිසිම සඳහනක් නැහැ. නමුත් පරිගණකයේ පැහැදිලිවම දුරකථන රැහැන සවි කිරීම පිණිස සම්බන්ධකයක් තිබෙනවා. එනම් අභ්‍යන්තර මොඩමයක් තිබෙනවා. ඉතින් මෝඩමය සවිවී ඇත්තේ PCMCIA හෝ USB ආකාරයටදැයි දැන ගැනීමට “lspcmcia -vv” සහ “lsusb -vv” විධාන දුන්නත් මොඩමයක් ගැන කිසිම සඳහනක් නැහැ. ඉතින් අවසානයේදී පරිගණකය වින්ඩෝස් වලින් පණ ගන්වා මොඩමය පරිගණකයට සම්බන්ධ වී ඇති ආකාරය නිරීක්ෂණය කලා.

device-manager

රූපය: වින්ඩෝස් Device Manager හි HDA මෝඩමය පෙන්වන අයුරු

මෙහිදී තමයි ඉහත විධාන මගින් මොඩමය හඳුනා නොගැනීමට හේතුව පසක් වුනේ. මගේ පරිගණකයේ ඇත්තේ HDA- වින්මොඩමයකුයි (Winmodem). (සොෆ්ට්මොඩම් – softmodem කියලත් හඳුන්වනවා). මෙය හා සාමාන්‍ය වින්මොඩමයක් අතර වෙනස තමයි මොඩමය පරිගණකයේ PCI බසයට කෙලින්ම සම්බන්ධ වී නොතිබීම. එය සම්බන්ධ වී ඇත්තේ Intel High Definition Audio (Intel HDA) හි සහ-පද්ධතියක් (Subsystem) ලෙසයි. වෙනත් විදිහකට කියනවානම් මොඩමය ඇත්තේ ශ්‍රව්‍ය පද්ධතිය තුලයි.

දැන් ඉතින් නැවතත් ලිනක්ස් වල සිට පහත විධානය දුන්නා. “aplay -l”. ( aplay යනු alsa-utils බහාලුම මගින් සපයන අල්සා ශ්‍රව්‍ය පද්ධතියේ ප්ලේබැක් ඩිවයිසස් පෙන්නුම් කරන සහ wave ගොනු වාදනය කිරීම කල හැකි මෙවලමකුයි.) මේ ඉන්නේ සැඟවී තිබූ මොඩමය එලියට!

**** List of PLAYBACK Hardware Devices ****
card 0: Intel [HDA Intel], device 0: ALC260 Analog [ALC260 Analog]
Subdevices: 1/1
Subdevice #0: subdevice #0
card 0: Intel [HDA Intel], device 6: Si3054 Modem [Si3054 Modem]
Subdevices: 1/1
Subdevice #0: subdevice #0

මෙතැන් සිටනම් සියල්ල පැහැදිලි වුනා. මේ මොඩමයට අවශ්‍ය මූලික සහාය Intel HDA මොඩියුලය මගින් දක්වනවා. එනම් snd-hda-intel මගින්. නමුත් මොඩමය භාවිතා කිරීමට එය පද්ධතියේ සීරියල් ඩිවයිස් එකක් ලෙස ස්ථාපිත විය යුතුයි. මේ high level සහාය දැක්වීමට මෙවලමක් තිබෙනවා smartlink-slmodem නමින්. මේ සම්බන්ධයෙන් සහ සියළුම වින්මොඩම්, ලින්මොඩම් වලට හැරවීම ගැන වැඩි විස්තර සපයන මේ අඩවියට යන්න අමතක කරන්න එපා. මෙහි ඇති scanmodem නම් මෙවලම මගින් ඔබේ පද්ධතිය පිරික්සා එහි ඇති මොඩම ගැන විස්තර විතරක් නෙවෙයි අව්ශ්‍ය ධාවක ස්ථාපනය ගැනත් උපදෙස් සපයනවා. (මාත් මෙතනින් ආරම්භ කලා නම් ඉහත් කරදර අත් වන්නේ නැහැ)

ඉන්පසු ඉහත සඳහන් කල smartlink-slmodem හි කම්පයිල් කරන ලද වෙළුම (SLMODEMD.gcc4.1.tar.gz)  බාගත කර එහි ඇති slmodemd ගොනුව /usr/bin/ වෙත කොපි කලා. දැන් පහත විධානය දීමෙන් නව සීරියල් ඩිවයිස් එකක් ලෙස මොඩමය පද්ධතියට එකතු වෙනවා.
“sudo slmodemd -c SRILANKA –alsa hw:0,6 & “ මෙහි ඇති hw:0,6 යන්නෙන් ඉහත aplay -l විධානයේ ඇති card # එක සහ device # එක නිරූපණය වෙනවා. ඉහත විධානයේ ප්‍රතිධානය පහත අයුරු නම් දැන් අපට භාවිතා කල හැකි මොඩමයක් ස්ථාපනය වී හමාරයි. ‘/dev/ttySL0‘ නමින් නව මෝඩමයක් ස්ථාපනය වී ඇති අයුරු බලන්න.

SmartLink Soft Modem: version 2.9.11 Feb 17 2008 09:31:10
symbolic link `/dev/ttySL0′ -> `/dev/pts/1′ created.
modem `hw:0,6′ created. TTY is `/dev/pts/1′
Use `/dev/ttySL0‘ as modem device, Ctrl+C for termination.

ඉන්පසු මීට පෙර සටහනකින් පැවසූ විදිහට System->Administration->Network තුලින් ඔබට නව ppp සබඳතාවක් පිහිටුවිය හැකියි. නමුත් ඔබට මෙම System->Administration->Network මගින් සකසන /etc/wvdial.conf ගොනුවේ එක් වෙනස් කමක් නම් කල යුතු වෙනවා පහත අයුරින්. එනම් ඔබේ මොඩමය ගැන විස්තර සපයන [Modem#] කොටසට “Carrier Check = no” යන්නත් එක් විය යුතුයි.

[Modem1]
Modem = /dev/ttySL0
Baud = 460800
SetVolume = 0
Dial Command = ATDT
Init1 = ATZ
Init3 = ATM0
FlowControl = NOFLOW
Carrier Check = no
[Dialer SLT]
Username = xxxxxx
Password = xxxxxx
Phone = 1250
Stupid Mode = 1
Init1 = ATZ
Init2 = ATQ0 V1 E1 S0=0 &C1 &D2 +FCLASS=0
Inherits = Modem1

ඉහත විස්තර සහ විශේෂයෙන්ම අඩවියේ ඇති ලින්මොඩම් ගැන විස්තර අධ්‍යයනයෙන් ඔබටත් ඔබේ සැඟවී ඇති HDA මොඩමය භාවිතා කල හැකි වේවි.

ඔබේ පරිගණක තිරය තැටිගත කරන්න

ඔබේ පරිගණකයේ තිරයේ ක්‍රියාකාරකම් දෘෂ්‍ය ගොනුවක් ලෙස සුරැකීමට සමහර විට ඔබට අවශ්‍ය වීමට පුලුවන්. විශේෂයෙන්ම ඔබ යම්කිසි පරිගණක ක්‍රියාකාරකමක් නිදර්ශනයේදී මෙන්ම පරිගණක පද්ධතියක දෝෂ නිමානයේදීත් මේ තිර තැටිගත කිරීම් (Screencast) මහෝපකාරී වෙනවා. මේ හඳුන්වාදෙන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ඒ සඳහා භාවිතා කල හැකි මෙවලම් ගැනයි. මේ සෑම මෙවලමක්ම තිර ග්‍රහණයට අමතරව ශ්‍රව්‍ය ග්‍රහණයේ හැකියාවෙනුත් සමන්විතයි.

පලමුවැන්න තමයි recordmydesktop . මෙය විධාන රේඛාවකින් දිවැවෙන මෙවලමක්. මෙයින් ජනනය වන්නේ Ogg Theora දෘෂ්‍ය කේතනයකුත් Ogg Vorbis ශ්‍රව්‍ය කේතනයකුත් ඇති ගොනුයි. කෙසේවුවත් විධාන රේඛා අතුරුමුහුණත ගැන පසුතැවිලි වීමට අවශ්‍ය නැහැ. ඒ මෙම මෙවලමට gtk-recordmydesktop සහ qt-recordmydesktop නම් වලින් චිත්‍රක අතුරු මුහුණත් ඇති නිසයි. මෙමගින් පරිගණක තිරයේ තෝරාගත් කොටසක සිදුවන ක්‍රියාකාරකම් පටිගත කිරීමට පුලුවන්.

රූපය: gtk-recordmydesktop

දෙවැන්න තමයි istanbul. මෙමගිනුත් ජනනය වන්නේ Ogg Theora දෘෂ්‍ය කේතනයකුත් Ogg Vorbis ශ්‍රව්‍ය කේතනයකුත් ඇති ගොනුයි. භාවිතයත් බොහෝදුරට gtk-recordmydesktop වලට සමානයි.

රූපය: istanbul

මේ මෘදුකාංග සියල්ලටම වඩා පහසුකම් වලින් වැඩි xvidcap නම්වූ මෘදුකාංගය තමයි හඳුන්වාදෙන අවසාන මෙවලම. මෙය භාවිතා ffmpeg එහි ශ්‍රව්‍ය දෘෂ්‍ය කේතනය පිණිස භාවිතා කරන නිසා divx, wmv වැනි mpeg-4 කේතන වලින් ගොනු සුරැකීමේ හැකියාව සතුයි. එසේම flash video (flv) සහායත් දක්වනවා.

රූපය: xvidcap අතුරුමුහුණත

ස්ථාපනය

recordmydesktop සහ එහි GUI එක ස්ථාපනය සඳහා පහත විධානය දෙන්න.

“sudo yum install recordmydesktop gtk-recordmydesktop”

istanbul ස්ථාපනය සඳහා පහත විධානය දෙන්න.

“sudo yum install istanbul”

xvidcap ස්ථාපනය සඳහා පහත විධානය දෙන්න. පලමුව ලිව්නා මූලය සක්‍රීයදැයි බලන්න.

“sudo yum install xvidcap”