ඔබේ පරිගණකයටත් විජට්ස් සහ ගැජට්ස්

ඇපල් OS-x සමග ජනප්‍රිය වුණ ඩෙස්ක්ටොප් ආයිත්තම් (විජට්ස් නැත්නම් ගැජට්ස්) ගැන ලිනක්ස් භාවිතා කරන්නනුත් ඉතා උනන්දුයි. ඉතින් ඔබේ ලිනක්ස් පරිගණකයටත් මේ විජට්ස් එක් කර ගත හැකි ක්‍රම කිහිපයක්ම තිබෙනවා.

ලිනක්ස් වල බහුලවම භාවිතා වන විජට්ස් පහසුකම් සපයන යාන්ත්‍රණ දෙකක් තමයි ස්ක්‍රීන්ලට්ස් (Screenlets) සහ g-ඩෙස්ක්ලට්ස් (gDesklets). මීට අමතරව ඔපෙරා බ්‍රව්සරය තුල එයටම කාවැද්දූ විජට්ස් යාන්ත්‍රණයක් තියෙනවා. තවත් ප්‍රසිද්ද මෙවලමක් වන ගූග්ල් ඩෙස්ක්ටොප් වල ලිනක්ස් වෙලුමේ නම් තවමත් විජට්ස් සහාය නැහැ.

ඉතින් ෆෙඩෝරා වලට gdesklets ස්ථාපනය නම් හරිම ලෙහෙසියි. සුපුරුදු පරිදි පහත විධානය දීමෙන් ස්ථාපනය සිදු කල හැකියි.

“sudo yum install gdesklets”

gdesklets වලටත් වඩා වැඩි ආකර්ෂණීයත්වයකින් යුතු ස්ක්‍රීන්ලට්ස් සඳහා නම් ෆෙඩෝරා නිල වශයෙන් RPM නිකුතුවක් මුදා හරින්නේ නැහැ. එමෙන්ම ෆෙඩෝරා සඳහා වඩාත්ම භාවිතා වන තෙවන පාර්ශවීය මූලය වන ලිව්නා (livna) තුලිනුත් ස්ක්‍රීන්ලට්ස් ලබාගත නොහැකියි. කෙසේ වුවත් පහත සබැඳියෙන් ඔබට මෙය ලබාගත හැකියි.

http://www.gnome-look.org/content/show.php/Screenlets?content=73346

පහත දැක්වෙන්නේ gDesklets සහ Screenlets වල ඇති විජට්ස් කිහිපයකුයි.

තිර විකාශය (Screencast) : gDesklets, පටිගත කලේ gtk-recordmydesktop මගිනි.

තිර විකාශය (Screencast) : Screenlets, පටිගත කලේ xvidcap මගිනි.

ලිනක්ස් සඳහා පද්ධති තොරතුරු ලබා ගැනීම -System Information

ලිනක්ස් පරිගණකයක පද්ධතියක දෘඩාංග සහ මෘදුකාංග විස්තර පහසුවෙන් ලබාගත හැකි මෘදුකාංග දෙකක් තමයි මේ හඳුන්වා දෙන්නේ.

ඔබ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සැන්ඩ්‍රා (SiSOft Sandra) හෝ එවරස්ට් (Everest) වැනි මෘදුකාංගයක් ඔබ භාවිතා කර තිබෙනවා ඇති. ඉහත මෘදුකාංග වලින් පද්ධතියේ තොරතුරු ලබා ගන්නවාට අමතරව එහි නොයෙකුත් අංග වල වේගය පිලිබඳ පරීක්ෂණත් (Benchmarking) කල හැකියි. ඉතින් ලිනක්ස් සඳහා මේ හඳුන්වාදෙන්නේ ඒවාට හොඳ විකල්ප දෙකක්.

මෙයින් පලමුවැන්න හැඳින්වෙන්නේ lshw යනුවෙනුයි. මෙය විධාන පෙල අතුරු මුහුනතකින් (CLI) හෙබි මෙවලමක්. එනිසා එතරම් ආකර්ෂණීය නම් නැහැ. නමුත් මේ සඳහා ඉතා හොඳ GUI එකක් තිබෙනවා lshw-gui නමින්. මෙයින් පරිගණකයේ දෘඩාංග ගැන හොඳ විස්තරයක් පහසුවෙන්ම ලබා ගත හැකියි. නමුත් Benchmark කිරීමට නම් නොහැකියි.

screenshot-lshw

රූපය lshw-gui මෙවලම

දෙවැනි මෘදුකාංගය තමයි හාඩ් ඉන්ෆෝ (hardinfo). මේ නම් අංග සම්පූර්ණ මෙවලමක්. පද්ධතියේ සියළුම දෘඩාංග ගැන මෙන්ම මෙහෙයුම් පද්ධතිය ගැන තොරතුරුත් ලබා ගත හැකියි. එසේම ඔබේ ක්ෂුද්‍ර සකසකය (Processor) benchmark කිරීමටද හැකියාව මෙහි තිබෙනවා.

screenshot-summary-system-information

රූපය: hardinfo අතුරුමුහුණත

ෆෙඩෝරා සඳහා lshw සහ lshw-gui ස්ථාපනයට පහත විධානය දෙන්න.

"sudo yum install lshw lshw-gui"

ෆෙඩෝරා සඳහා hardinfo ස්ථාපනයට පහත විධානය දෙන්න.

"sudo yum install hardinfo"

මේ කව්ද? මොනවද කරන්නේ?

ඡායාරූපය: The Inquirer අනුග්‍රහයෙනි

මේ තමයි Michel Xhaard, වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. දුම් පයිප්පත් බොනවා.

ඉතින් මොහුගැන ලියන්න හිතුවේ ඔහු ලිනක්ස් භාවිතා කරන්නන් වෙනුවෙන් අද්විතීය සේවයක් කර තිබීමයි. ඔබ දන්නවා ඇති ලිනක්ස් වල වෙබ්කෑම් සහ අනෙකුත් USB වීඩියෝ කැමරා සහාය දැක්වීමේදී සෑහෙන පසුබෑමක් තිබූ බව. ඉතින් මේ තත්වය මුළුමනිනම පාහේ වෙනස් කිරීමට සමත් වූ තනි පුද්ගලයා තමයි ඉහල ඡායාරූපයේ ඉන්නේ. ඔහු ඒ දේ කලේ කැමරා නිෂ්පාදකයන්ගේවත් ලිනක්ස් බෙදාහරින්නන්ගේවත් කිසිම සහායකින් තොරව තනිවම වීම තමයි මෙහි ඇති විශේෂත්වය.

දැනට මොහු විසින් නිමැවූ GSPCA/SPCAXXX ධාවකය සහාය දක්වන කැමරා ගණන 350 කටත් අධිකයි!!!

මොහු ගැන The Inquirer සඟරාවේ පලවූ මේ ලිපියත් බලන්න.

මා දකින විදිහට මොහුගේ මේ විශිෂ්ට දායකත්වය තවත් ඉස්මතු වෙන්නේ මයික්‍රොසොෆ්ට් වැනි සමාගම් මෙන්න මේ වගේ නිර්ලජ්ජිත ක්‍රියා කාරකම් කරන කොටයි.

(Visual Studio ගෙඩි පිටින් BlueJ කොපි කිරීම සහ ඉන්පසු එයට පේටන්ට් ඉල්ලීම)

(මයික්‍රොසොෆ්ට්, ඔවුන්ගේ පේටන්ට් 235ක් විවෘත මෘදුකාංග මගින් භාවිතා කර ඇති බව ප්‍රකාශ කිරීම සහ ඒ මොනවාදැයි ප්‍රකාශ නොකිරීම)

GSPCA කර්නල් මොඩුලය ෆෙඩෝරා සඳහා ස්ථාපනයට සඳහා පහත විධානය දෙන්න.

“sudo yum install gspca”


ලිව්නා මූලය සක්‍රීය කල යුතුයි.

Ubuntu (උබුන්ටු) 8.04 – ෆෙඩෝරා භාවිතා කරන්නෙක්ගේ ඇසින්

මාත් උබුන්ටු 8.04 බීටා ඩෙස්ක්ටොප් වෙළුම ස්ථාපනය කලා. ආරම්භයේදීම සිතට නැගුන දෙයක් තමයි මේ වෙළුමේ හැඩ වැඩ අතින් නම් උබුන්ටු 7.10 ට වඩා වැඩි වෙනසක් නැතිබව. මේ ඔවුන්ගේ දිගු කාලීන සහාය දක්වන වෙළුම නිසා මා මීට වඩා වෙනසක් බලාපොරොත්තු වුනා. වෙනසකට තිබුනේ CD එක ලෝඩ් වූ විටම දැන් පහසුකමක් තියනවා එක්වරම ස්ථාපනයට (කලින් නම් පලමුව සජීවී සංයුක්ත තැටිය බූට් කරලා ඉන්පසුව ස්ථාපනය කරන්න අවශ්‍යයි නෙ)

උබුන්ටු 8 නව වෙනස්කම් සමහරක් ෆෙඩෝරා 8 පසුගිය නොවැම්බරයේදීම එලි දැක්වුවා. උදාහරණයක් විදිහට පල්ස්ඔඩියෝ (pulseaudio) , පොලිසිකිට් (PolicyKit), ට්‍රාන්ස්මිෂන් (Transmission), අථත්‍යකරණ සහාය (virtualization) ගෙන හැර දක්වන්න පුලුවන්. මේ සංසන්දනය පිළිබඳ වැඩි විස්තර සඳහා මේ සබැඳි දෙක බලන්න.

මේ ගැන වැඩිදුරටත් සිතද්දී මගේ සිතට නැගුණු කරුණක් නම් ෆෙඩෝරා භාවිතා කරන්නන්හට ඉතා ඉක්මනින්ම නව පහසුකම් හිමිවෙනවා. ඒ වගේම ඔවුන් මේ නිසාම යම් යම් අපහසුතාත් අත් විඳිනවා. (පල්ස් ඔඩියෝ ගැන මා කලින් ලියූ මේ සටහන් බලන්න – Skype-2 & Pulseaudio, පල්ස් ඔඩියෝ හිසරදය) හැබැයි දැන් උබුන්ටු ඒ පහසුකම්ම ලබා දෙද්දී දහස් ගණනක් ෆෙඩෝරා භාවිතා කරුවන්ගේ දායකත්වය නිසා මේ නව හඳුන්වාඳීම් ස්ථාවර වී හමාරයි.

කොහොම වුනත් උබුන්ටු ඔවුන්ගේ උදෘත පාඨය වන “Linux for Human Beings” යන්න නම් තවඳුරටත් සනාථ කර තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ “Multiverse” සහ “Universe” මූල පෙරනිමියෙන්ම සක්‍රීය නිසා ඉතා ලෙහෙසියෙන්ම උබුන්ටු පරිගණකයක් අංග සම්පූර්ණ කර ගැනීමට පුලුවන්.

උඳාහරණයක් ලෙස

  1. සියලුම ශ්‍රව්‍ය දෘෂ්‍ය ගොනු ධාවනයට අවශ්‍ය මෙවලම් එකවර ස්ථාපනයට පහත විධානය දෙන්න. “sudo aptitude install ubuntu-restricted-extras”
  2. gcc, g++ ඇතුලු මෘදුකාංග නිමවීමට අවශ්‍ය මෙවලම් එකවර ස්ථාපනයට පහත විධානය දෙන්න.“sudo aptitude install build-essential”

Screenshot-Domain Join Authenticationඋබුන්ටු වල ඇති නැවුම්ම වෙනස ලෙස මා දකින්නේ ලයික්වයිස් (Likewise) සමග ගෙන එන Active Directory Integration පහසුකමයි. මේ පහසුකම ඉතා ආකර්ෂණීයයි. Winbind, keberos, pam ආදී එකී මෙකී නොකී දහසුකත් එකක් මෙවලම් ගැන මොකුත්ම දැනගන්න අවශ්‍ය නැහැ. වින්ඩෝස් XP පරිගණකයක් Active Directory එකට එක් කරනවා වගේම සරලව වැඩේ කල හැකියි. කොහොම වුණත් මාගේ අත්හදාබැලීම නම් සාර්ථක වුණේ නැහැ. (තවම බීටා නේ)

උබුන්ටු 8.04 සඳහා තවම http://sinhala.sourceforge.net/ වෙතින් සිංහල පැකේජ නිල වශයෙන් බාගත කල නොහැකි වුනත් උබුන්ටු 7.10 සඳහා ඇති මූල කිසිම ප්‍රශ්නයක් නැතුව උබුන්ටු 8.04 සඳහාත් ක්‍රියා කලා.

ubuntu-sinhala

Screenshot-prasan@WS089 උබුන්ටු වල තව එක් නව හඳුන්වාදීමක් තමයි UFW (Uncomplicated firewall) එක. හරිහමන් ෆයර්වෝල් එකක් නැතිව හිටි උබුන්ටුට මේක හොඳ විසඳුමක්. භාවිතය පහසුයි හැබැයි GUI එකක් නම් නැහැ (භාවිතය ඉතා පහසු නිසා GUI එකක් අවශ්‍යත් නැහැ මා හිතන හැටියට). හැබැයි ඉතින් ෆෙඩෝරා වල ඇති system-config-securitylevel ෆයර්වෝල් එක අංග සම්පූර්ණ භාවිතයත් ඉතා පහසු විසඳුමක් බවයි මා දකින්නේ.

මේ වෙනස්කම් වලට අමතරව වින්ඩෝස් වල සිටම උබුන්ටු ස්ථාපනයට මග සලසන Wubi (වුබි) ස්ථාපකයකුත් මේ වෙළුමට අඩංගුයි.

ඉතින් වැඩි විස්තර කීමට තවම කල් වැඩි නිසා භාවිතා කරම බලමු.

Maxima – සහ කොන් හතරේ තොප්පිය

මේ රූපයේ තියෙන්නේ මොකද්ද? කොන් හතරක්ම තියෙන කව්බෝයි තොප්පියක ත්‍රිමාන සැකිල්ලක්ද?

 

thoppiya

මේ කතා කරන්නේ තොප්පි ගැනවත් කව්බෝයිලා ගැනවත් නෙවෙයි, මැක්සිමා (Maxima) ගැනයි. මැක්සිමා (Maxima) කියන්නෙ මැක්සිමම් (maximum) කියන වචනයේ බහුවචනයයි. මේ නමින්ම හැඳින්වෙන මෘදුකාංගයකුත් තිබෙනවා. අද මාතෘකාව ඒකයි.

මැක්සිමා කියන්නේ ගණිතමය මෘදුකාංගයකුයි. අංක ගණිතය වගේම වීජ ගණිතයටත් එකසේ භාවිතා කල හැකියි. රුපියල් ලක්ෂ ගණනක් මිල වෙන මේප්ල්, මැතමැටිකා වැනි වානිජ ගණිතමය මෘදුකාංග වල පහසුකම් සියල්ලක්ම පාහේ මෙහිත් අඩංගු වෙනවා. ඉතින් ඉහත රූපයේ තියෙන්නේ “z = cos( x^2 + y^2)” යන ත්‍රිමාන වක්‍රය මැක්සිමා අඳිනා ආකාරයයි.

ඔබත් උසස් පෙල සඳහා ගණිතය හදාරා ඇත්නම් අනුකලනය කර ඇතුවා නිසැකයි. අපි මදක් අමාරු අනුකලනයක් සලකමු.

integration2

 

මේ තියෙන්නේ මැක්සිමා මෙම ඉහත දිස්වන ගැටළුව විසඳන අයුරුයි.

 

integration

පහත දැක්වෙන්නේ වීජීය ප්‍රකාශනයක් මැක්සිමා සුළු කරනා ආකාරයයි.

simplification

ඇත්තෙන්ම මැක්සිමා කියන්නේ චිත්‍රක මුහුණතක් (GUI) සහිත මෘදුකාංගයක් නෙවෙයි. ඔබ මේ දකින තිරපිටපත් ලබාගෙන ඇත්තේ wxMaxima නම් වූ මැක්සිමාහි GUI මෙවලම භාවිතයෙනුයි.

ෆෙඩෝරා සඳහා මැක්සිමා සහ wxMaxima ස්ථාපනය ඉතා ලෙහෙසියෙන් කර ගැනීමට පහත විධානය දෙන්න.

 

“sudo yum install maxima wxMaxima gnuplot”

ඔබ මේ ගණිතමය මෘදුකාංග ගැන උනන්දුවක් දක්වන්නෙක් නම් තවත් විවෘත සහ නොමිල මෘදුකාංග දෙකක් වන් ඔක්ටේව් (Octave) සහ ස්කයිලැබ් (Scilab) මෘදුකාංග ගැනත් විමසිලිවත් වන්න.

Screenshot-wxMaxima 0.7.4 [ unsaved_ ]
Screenshot-Gnuplot-1

රූපය: wxMaxima සහ z =sin(xy) වක්‍රය

CDMA සහ ජංගම දුරකථන ලිනක්ස් සමග සම්බන්ධ කරමු

ෆෙඩෝරා ඇතුලු ඕනෑම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක සම්පූර්ණ ප්‍රයෝජනයම ගැනීමට නම් ඉන්ටර්නෙට් සම්බන්ධතාවක් අත්‍යාවශ්‍යයි. මේකට ප්‍රධාන හේතුව වන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් නිරතුරුවම යාවත්කාලීන වීමත්, ලිනක්ස් මෘදුකාංග සියල්ලක්ම පාහේ බෙදාහැරෙන ප්‍රධාන මාධ්‍යය ඉන්ටර්නෙට් එක වීමත් තමයි.

තවමත් බොහෝ දෙනෙක් ඉන්ටර්නෙට් හා සම්බන්ධ වෙන්නේ dial-up සම්බන්ධතා භාවිතා කරලයි. ඉතින් අපි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර පලමුවෙන්ම කරන්නේ තමන්ගේ දුරකථනය මෝඩම් එකක් ලෙස ස්ථාපනය කර ගැනීමට තැත් කිරීමයි. මේ සම්බන්ධතාව ජංගම දුරකථනයක් හෝ  CDMA ගෘහස්ත දුරකතනයක් හෝ සාමාන්‍ය රැහැන් දුරකතනයකට ඇමුණූ මෝඩමයක් වීමට පුලුවන්.

ඉතින් අපි මේ ස්ථාපනය කරගන්නා ආකාරය සලකා බලමු.

ඔබ භාවිතා කරන්නේ USB සම්බන්ධතාවක් ඇති ජංගම දුරකතනයක් හෝ CDMA දුරකතනයක් නම්

  1. ඔබ root ලෙස පරිගණකයට ලොග්වන්න. (sudo වුවත් භාවිතා කල හැකියි)
  2. දුරකථනය පරිගණකයට සම්බන්ධ කරන්න
  3. "dmesg | tail" යන විධානය දෙන්න. මෙහිදී ඔබේ දුරකථනය හඳුනාගෙන එයට අදාල driver එක මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගත්තාදැයි පිරික්සිය හැකියි. උදාහරණයක් ලෙස මගේ LG K200 ජංගම දුරකථනය සඳහා ඉහත විධානයේ ප්‍රතිචාරය වූයේ

    usb 2-2: new full speed USB device using uhci_hcd and address 7
    usb 2-2: configuration #1 chosen from 1 choice
    cdc_acm 2-2:1.1: ttyACM0: USB ACM device

  4. ඉහත විධානයෙන් කරනුයේ අප kernel messages ලෙස හඳුන්වන තොරතුරු වල අවසාන කොටස (| tail මගින් ) දර්ශනය කරවීමයි. ඉතින් මෙහි වැදගත්ම කොටස වන්නේ "ttyACM0: USB ACM device" යන්නයි.  මෙහිදී දුරකථනය ttyACM0 ලෙස නම්වූ serial device එකක් ලෙස ලිනක්ස් මගින් ස්ථාපනය කර ගෙන තිබෙනවා. ඔබ වින්ඩෝස් වලට හුරු අයෙක් නම් මෙය සමාන වන්නේ දුරකථනය COM3, COM4 වැනි serial device එකක් ලෙස ස්ථාපනය වීමටයි.
  5. දැන් දැනටමත් ඔබේ පරිගණකයේ Dial-up Networking සහාය ස්ථාපනය වී ඇතිදැයි බලන්න. ෆෙඩෝරා වල නම් මේ සඳහා Applications->Add/Remove Software ->Base System ->Dial-up Networking Support ස්ථාපනය වී තිබිය යුතුයි. මෙහිදී ස්ථාපනය වන වැදගත්ම මෙවලම නම් wvdial යන්නයි.
  6. දැන් ෆෙඩෝරා වල System->Administration->Network වෙත යන්න. එවිට දිස්වන පහත දැක්වෙන සංවාද කවුළුවේ New ක්ලික් කරන්න.

    screenshot-network-configuration

  7. ඉන්පසු නව Modem Device එකක් තෝරා ගන්න. මෙහිදී ලැබෙන පහත පෙනෙන සංවාද කවුළුවේ ඔබට ඉහත 4වැනි පියවරේ ලැබුණු serial device එක (ttyACM0) එක තෝරාගන්න.

    screenshot-add-new-device-type-2

  8. ඉතිරිය ඔබටම පැහැදිලි වෙයි. මෙහිදී කල යුත්තේ ඔබේ ඉන්ටර්නෙට් සබඳතාවේ තොරතුරු ඇතුල් කිරීමයි. ඉන්පසු සියල්ල සාර්ථක නම් පහත රූපයේ ආකාරයට නව PPP device එකක් (ppp0) ස්ථාපනය වී තිබිය යුතුයි.

    screenshot-network-configuration-1

  9. දැන් එම නව PPP device එක මත ක්ලික් කර Activate කිරීමෙන් ඔබට ඉන්ටර්නෙට් හා සබැඳි විය හැකියි.

ඔබ භාවිතා කරන්නේ සාමාන්‍ය serial interface සහිත External Modem එකක් හෝ දුරකථනයක් නම්

  1. මෙහිදී dmesg වලින් පලක් නැහැ. නමුත් ඔබ කල යුත්තේ ඔබ මොඩමය සවි කරන සීරියල් පෝට් එක බලා ගැනීමයි. සාමාන්‍යයෙන් වින්ඩෝස් වල COM1 වූ පලමු පෝට් එක ලිනක්ස් වල හැඳින්වෙන්නේ /dev/ttyS0 නමිනුයි. COM2 නම් /dev/ttyS1 නමිනුයි.
  2. දැන් ඉහත උපදෙස් මාලාවේ 6වෙනි පියවරේ සිට ඔබට ඉදිරියට ගිය හැකියි.එකම වෙනස නම් තෝරාගත යුතු serial device එක /dev/ttyS0 හෝ /dev/ttyS1 වීමයි.

ඔපෙරා – Opera අදටත් ලොව වේගවත්ම බ්‍රව්සරයයි

ෆයර්ෆොක්ස් 3 බීටා 4 තමයි මා දැනට ෆෙඩෝරා වල භාවිතා කරන බ්‍රව්සරය. ෆයර්ෆොක්ස් 3, ෆයර්ෆොක්ස් 2 ට වඩා සෑහෙන්න වේගවත් බව භාවිතා කර සුළු වේලාවකින්ම අපිට වැටහෙනවා.

නමුත් ෆයර්ෆොක්ස් ඔපෙරා තරම් වේගවත්ද? දැන් කලක පටන්ම මා ෆයර්ෆොක්ස් භාවිතා කරන්නේ සිංහල සහාය අවශ්‍ය විට පමණයි. අන් සැම විටම මා භාවිතා කලේ ඔපෙරා බ්‍රව්සරයයි.නමුත් ෆයර්ෆොක්ස් බීටා 3 පිටවීමත් සමග එය හා ඔපෙරා අතර වෙගයේ සැලකිය යුතු වෙනසක් තිබෙනවාද යන්න පිරික්සීමට සිතුනා. ඉතින් ෆයර්ෆොක්ස් 3 බීටා 4 සමග මා භාවිතා කරන ඔපෙරා 9.5 බීටා 1 සැසඳීමේ ප්‍රතිඵල තමයි මේ ගෙනහැර දක්වන්නේ.

පරිගණකයක් පණගැන්වූ පසු කරන බ්‍රව්සරයේ පලමු ආරම්භයට ගතවන වේලාව සහ යම්කිසි URL එකක් ප්‍රථමවරට් ලෝඩ් වීමට ගතවන වේලාව යන දෙකම එහි වේගය පිළිබඳ පරාමිතීන් වෙනවා. ඉතින් මා මේ සන්සන්දනය සඳහා භාවිතා කලේ www.google.lk අඩවියට සම්බන්ද පහත දැක්වෙන URL 5 ෆයර්ෆොක්ස් සහ ඔපෙරා වල ටැබ් 5ක් ලෙස ලෝඩ් කිරීමයි. මෙහිදී මෙම ටැබ් පහම වරක් බ්‍ර්ව්සරයට ලෝඩ් කිරීමෙන් පසු එම බ්‍රව්සර් සෙෂන් එක නැවත බ්‍රව්සරය ආරම්භ කරන විට දිස්වන පරිදි සුරැකුවා. ඉන්පසු කලේ බ්‍රව්සර වල කැෂ් එක හිස් කිරීමයි. (Clear Private Data in Firefox, Delete Private Data in Opera).

  1. http://www.google.lk
  2. http://images.google.lk/
  3. http://scholar.google.com/
  4. http://labs.google.com/
  5. http://blogsearch.google.com/

දැන් පරිගණකය නැවත පණ ගන්වා මද වේලාවකට පසු (දෘඩ තැටිය නොකම් වූ පසු) ෆයර්ෆොක්ස් ආරම්භ කර සියළුම ටැබ් ලෝඩ් වීමට යන වේලාව සහ එහිදී ලබා ගන්නා මෙමරි ප්‍රමාණය ගණනය කලා. ඉන්පසු නැවතත් පරිගණකය පණගන්වා ඔපෙරා සඳහාත් මේ ක්‍රියාමාර්ගයම ගත්තා. ඉහත පරීක්ෂණය තෙවරක්ම සිදුකරා.

උපකල්පන:

  1. පරිගණකය පණගන්වන වාර අතරතුර ඉහත URL වල අන්තර්ගත වෙනස් වී නොතිබීම
  2. පරිගණකය ඉන්ටර්නෙට් වෙත සම්බන්ධ වන වේගයේ සහ වෙබ් සර්වර් වල ක්‍රියාකාරීත්වයේ සැලකිය යුතු වෙනසක් නොතිබීම ( ???)
  3. පරීක්ෂණය තෙවරක් සිදුකිරීමෙන් ප්‍රථිපල තවදුරටත් නිවැරදි වීම

ප්‍රථිපල:

  • ෆයර්ෆොක්ස් සඳහා ගතවූ කාලය තත්පර: 10, ආරම්භක මෙමරි පරිභෝජනය: 23MB
  • ඔපෙරා සඳහා ගතවූ කාලය තත්පර: 7, ආරම්භක මෙමරි පරිභෝජනය: 16MB

නිරීක්ෂණ:

ෆයර්ෆොක්ස් ආරම්භවී එහි අතුරුමුහුණත දිස්වීමට තත්පර 3 පමණ ගන්නා අතර ඔපෙරා මේ සඳහා ගන්නේ තත්පරයකට වඩා අඩු කාලයක්. ඉන්පසු ඉහත URL ලෝඩ් වීම සඳහා බ්‍රව්සර දෙකටම ගත වූයේ ආසන්නව සමාන කාලයක්. ෆයර්ෆොක්ස් වල මෙමරි පරිභෝජනය ඔපෙරා වලට වඩා ආරම්භයේදීම වැඩි අතර සම්බන්ධ වී ඇති URL ගණනත් සමග මෙය තව දුරටත් ඉහල යනවා.

ඉතින් ඔපෙරා දිගින් දිගටම පැවසූ පරිදි ඔවුන් තවදුරටත් ලොව වේගවත්ම සහ අඩුම මෙමරි පරිභෝජනයක් ඇති බ්‍රව්සරය බව තමයි මටත් නිගමනය කල හැක්කේ.