Skip to content

ජාලකරණය - 2. page

CDMA සහ ජංගම දුරකථන ලිනක්ස් සමග සම්බන්ධ කරමු

ෆෙඩෝරා ඇතුලු ඕනෑම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක සම්පූර්ණ ප්‍රයෝජනයම ගැනීමට නම් ඉන්ටර්නෙට් සම්බන්ධතාවක් අත්‍යාවශ්‍යයි. මේකට ප්‍රධාන හේතුව වන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් නිරතුරුවම යාවත්කාලීන වීමත්, ලිනක්ස් මෘදුකාංග සියල්ලක්ම පාහේ බෙදාහැරෙන ප්‍රධාන මාධ්‍යය ඉන්ටර්නෙට් එක වීමත් තමයි.

තවමත් බොහෝ දෙනෙක් ඉන්ටර්නෙට් හා සම්බන්ධ වෙන්නේ dial-up සම්බන්ධතා භාවිතා කරලයි. ඉතින් අපි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර පලමුවෙන්ම කරන්නේ තමන්ගේ දුරකථනය මෝඩම් එකක් ලෙස ස්ථාපනය කර ගැනීමට තැත් කිරීමයි. මේ සම්බන්ධතාව ජංගම දුරකථනයක් හෝ  CDMA ගෘහස්ත දුරකතනයක් හෝ සාමාන්‍ය රැහැන් දුරකතනයකට ඇමුණූ මෝඩමයක් වීමට පුලුවන්.

ඉතින් අපි මේ ස්ථාපනය කරගන්නා ආකාරය සලකා බලමු.

ඔබ භාවිතා කරන්නේ USB සම්බන්ධතාවක් ඇති ජංගම දුරකතනයක් හෝ CDMA දුරකතනයක් නම්

  1. ඔබ root ලෙස පරිගණකයට ලොග්වන්න. (sudo වුවත් භාවිතා කල හැකියි)
  2. දුරකථනය පරිගණකයට සම්බන්ධ කරන්න
  3. "dmesg | tail" යන විධානය දෙන්න. මෙහිදී ඔබේ දුරකථනය හඳුනාගෙන එයට අදාල driver එක මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගත්තාදැයි පිරික්සිය හැකියි. උදාහරණයක් ලෙස මගේ LG K200 ජංගම දුරකථනය සඳහා ඉහත විධානයේ ප්‍රතිචාරය වූයේ

    usb 2-2: new full speed USB device using uhci_hcd and address 7
    usb 2-2: configuration #1 chosen from 1 choice
    cdc_acm 2-2:1.1: ttyACM0: USB ACM device

  4. ඉහත විධානයෙන් කරනුයේ අප kernel messages ලෙස හඳුන්වන තොරතුරු වල අවසාන කොටස (| tail මගින් ) දර්ශනය කරවීමයි. ඉතින් මෙහි වැදගත්ම කොටස වන්නේ "ttyACM0: USB ACM device" යන්නයි.  මෙහිදී දුරකථනය ttyACM0 ලෙස නම්වූ serial device එකක් ලෙස ලිනක්ස් මගින් ස්ථාපනය කර ගෙන තිබෙනවා. ඔබ වින්ඩෝස් වලට හුරු අයෙක් නම් මෙය සමාන වන්නේ දුරකථනය COM3, COM4 වැනි serial device එකක් ලෙස ස්ථාපනය වීමටයි.
  5. දැන් දැනටමත් ඔබේ පරිගණකයේ Dial-up Networking සහාය ස්ථාපනය වී ඇතිදැයි බලන්න. ෆෙඩෝරා වල නම් මේ සඳහා Applications->Add/Remove Software ->Base System ->Dial-up Networking Support ස්ථාපනය වී තිබිය යුතුයි. මෙහිදී ස්ථාපනය වන වැදගත්ම මෙවලම නම් wvdial යන්නයි.
  6. දැන් ෆෙඩෝරා වල System->Administration->Network වෙත යන්න. එවිට දිස්වන පහත දැක්වෙන සංවාද කවුළුවේ New ක්ලික් කරන්න.

    screenshot-network-configuration

  7. ඉන්පසු නව Modem Device එකක් තෝරා ගන්න. මෙහිදී ලැබෙන පහත පෙනෙන සංවාද කවුළුවේ ඔබට ඉහත 4වැනි පියවරේ ලැබුණු serial device එක (ttyACM0) එක තෝරාගන්න.

    screenshot-add-new-device-type-2

  8. ඉතිරිය ඔබටම පැහැදිලි වෙයි. මෙහිදී කල යුත්තේ ඔබේ ඉන්ටර්නෙට් සබඳතාවේ තොරතුරු ඇතුල් කිරීමයි. ඉන්පසු සියල්ල සාර්ථක නම් පහත රූපයේ ආකාරයට නව PPP device එකක් (ppp0) ස්ථාපනය වී තිබිය යුතුයි.

    screenshot-network-configuration-1

  9. දැන් එම නව PPP device එක මත ක්ලික් කර Activate කිරීමෙන් ඔබට ඉන්ටර්නෙට් හා සබැඳි විය හැකියි.

ඔබ භාවිතා කරන්නේ සාමාන්‍ය serial interface සහිත External Modem එකක් හෝ දුරකථනයක් නම්

  1. මෙහිදී dmesg වලින් පලක් නැහැ. නමුත් ඔබ කල යුත්තේ ඔබ මොඩමය සවි කරන සීරියල් පෝට් එක බලා ගැනීමයි. සාමාන්‍යයෙන් වින්ඩෝස් වල COM1 වූ පලමු පෝට් එක ලිනක්ස් වල හැඳින්වෙන්නේ /dev/ttyS0 නමිනුයි. COM2 නම් /dev/ttyS1 නමිනුයි.
  2. දැන් ඉහත උපදෙස් මාලාවේ 6වෙනි පියවරේ සිට ඔබට ඉදිරියට ගිය හැකියි.එකම වෙනස නම් තෝරාගත යුතු serial device එක /dev/ttyS0 හෝ /dev/ttyS1 වීමයි.

ඔපෙරා – Opera අදටත් ලොව වේගවත්ම බ්‍රව්සරයයි

ෆයර්ෆොක්ස් 3 බීටා 4 තමයි මා දැනට ෆෙඩෝරා වල භාවිතා කරන බ්‍රව්සරය. ෆයර්ෆොක්ස් 3, ෆයර්ෆොක්ස් 2 ට වඩා සෑහෙන්න වේගවත් බව භාවිතා කර සුළු වේලාවකින්ම අපිට වැටහෙනවා.

නමුත් ෆයර්ෆොක්ස් ඔපෙරා තරම් වේගවත්ද? දැන් කලක පටන්ම මා ෆයර්ෆොක්ස් භාවිතා කරන්නේ සිංහල සහාය අවශ්‍ය විට පමණයි. අන් සැම විටම මා භාවිතා කලේ ඔපෙරා බ්‍රව්සරයයි.නමුත් ෆයර්ෆොක්ස් බීටා 3 පිටවීමත් සමග එය හා ඔපෙරා අතර වෙගයේ සැලකිය යුතු වෙනසක් තිබෙනවාද යන්න පිරික්සීමට සිතුනා. ඉතින් ෆයර්ෆොක්ස් 3 බීටා 4 සමග මා භාවිතා කරන ඔපෙරා 9.5 බීටා 1 සැසඳීමේ ප්‍රතිඵල තමයි මේ ගෙනහැර දක්වන්නේ.

පරිගණකයක් පණගැන්වූ පසු කරන බ්‍රව්සරයේ පලමු ආරම්භයට ගතවන වේලාව සහ යම්කිසි URL එකක් ප්‍රථමවරට් ලෝඩ් වීමට ගතවන වේලාව යන දෙකම එහි වේගය පිළිබඳ පරාමිතීන් වෙනවා. ඉතින් මා මේ සන්සන්දනය සඳහා භාවිතා කලේ www.google.lk අඩවියට සම්බන්ද පහත දැක්වෙන URL 5 ෆයර්ෆොක්ස් සහ ඔපෙරා වල ටැබ් 5ක් ලෙස ලෝඩ් කිරීමයි. මෙහිදී මෙම ටැබ් පහම වරක් බ්‍ර්ව්සරයට ලෝඩ් කිරීමෙන් පසු එම බ්‍රව්සර් සෙෂන් එක නැවත බ්‍රව්සරය ආරම්භ කරන විට දිස්වන පරිදි සුරැකුවා. ඉන්පසු කලේ බ්‍රව්සර වල කැෂ් එක හිස් කිරීමයි. (Clear Private Data in Firefox, Delete Private Data in Opera).

  1. http://www.google.lk
  2. http://images.google.lk/
  3. http://scholar.google.com/
  4. http://labs.google.com/
  5. http://blogsearch.google.com/

දැන් පරිගණකය නැවත පණ ගන්වා මද වේලාවකට පසු (දෘඩ තැටිය නොකම් වූ පසු) ෆයර්ෆොක්ස් ආරම්භ කර සියළුම ටැබ් ලෝඩ් වීමට යන වේලාව සහ එහිදී ලබා ගන්නා මෙමරි ප්‍රමාණය ගණනය කලා. ඉන්පසු නැවතත් පරිගණකය පණගන්වා ඔපෙරා සඳහාත් මේ ක්‍රියාමාර්ගයම ගත්තා. ඉහත පරීක්ෂණය තෙවරක්ම සිදුකරා.

උපකල්පන:

  1. පරිගණකය පණගන්වන වාර අතරතුර ඉහත URL වල අන්තර්ගත වෙනස් වී නොතිබීම
  2. පරිගණකය ඉන්ටර්නෙට් වෙත සම්බන්ධ වන වේගයේ සහ වෙබ් සර්වර් වල ක්‍රියාකාරීත්වයේ සැලකිය යුතු වෙනසක් නොතිබීම ( ???)
  3. පරීක්ෂණය තෙවරක් සිදුකිරීමෙන් ප්‍රථිපල තවදුරටත් නිවැරදි වීම

ප්‍රථිපල:

  • ෆයර්ෆොක්ස් සඳහා ගතවූ කාලය තත්පර: 10, ආරම්භක මෙමරි පරිභෝජනය: 23MB
  • ඔපෙරා සඳහා ගතවූ කාලය තත්පර: 7, ආරම්භක මෙමරි පරිභෝජනය: 16MB

නිරීක්ෂණ:

ෆයර්ෆොක්ස් ආරම්භවී එහි අතුරුමුහුණත දිස්වීමට තත්පර 3 පමණ ගන්නා අතර ඔපෙරා මේ සඳහා ගන්නේ තත්පරයකට වඩා අඩු කාලයක්. ඉන්පසු ඉහත URL ලෝඩ් වීම සඳහා බ්‍රව්සර දෙකටම ගත වූයේ ආසන්නව සමාන කාලයක්. ෆයර්ෆොක්ස් වල මෙමරි පරිභෝජනය ඔපෙරා වලට වඩා ආරම්භයේදීම වැඩි අතර සම්බන්ධ වී ඇති URL ගණනත් සමග මෙය තව දුරටත් ඉහල යනවා.

ඉතින් ඔපෙරා දිගින් දිගටම පැවසූ පරිදි ඔවුන් තවදුරටත් ලොව වේගවත්ම සහ අඩුම මෙමරි පරිභෝජනයක් ඇති බ්‍රව්සරය බව තමයි මටත් නිගමනය කල හැක්කේ.

ස්කයිපි (Skype) අලුත් වෙලා

ස්කයිපි ලිනක්ස් අලුත් වෙලා 2වැනි වෙලුමට. දැන් වෙබ්කෑම් සහායත් දක්වනවා. ඉන්ටර්නෙට් ඇමතුම් වල තත්වය වින්ඩෝස් වලට සමානයි. ලිනක්ස් භාවිතා කරන්නන්ට ඇති හොඳම ඉන්ටර්නෙට් ඇමතුම් ලබාගත හැකි මෘදුකාංගය දැන් ඉතින් අවිවාදයෙන්ම ස්කයිපි තමයි.

ස්කයිපි ස්ථාපනයට ප්‍රථමයෙන් ස්කයිපි භාවිතා කරන QT4 ලයිබ්‍රරිය “sudo yum install qt4 qt4-x11” විධානය දීමෙන් ස්ථාපනය කරගන්න.

ඉන්පසු http://www.skype.com/intl/en/download/skype/linux/choose/ වෙතින් ෆෙඩෝරා 7 සඳහා ඇති වෙලුම බාගත කරගන්න.

දැන් ලැබෙන rpm ගොනුව ධාවනයෙන් හෝ “sudo rpm -Uhv skype-2.0.0.xx-fc5.i586.rpm” විධානය දීමෙන් ස්කයිපි ස්ථාපනය කර ගත හැකියි.

ඔබ ෆෙඩෝරා 8 භාවිතා කරන්නෙක් නම් සමහරවිට ඔබට ශ්‍රව්‍ය වාදනයේ මෙන්ම ග්‍රහණයේත් (audio playback, audio capturing) ප්‍රශ්න ඇතිවීමට පුලුවන් පල්ස්ඔඩියෝ නිසා. ඔබට ශබ්දය ඇසෙන්නේ හෙඩ්ෆෝන් එකේ එක් පසෙකින් පමණක් නම් පහත රූපයේ ආකාරයට Sound In සහ Sound Out devices plughw:Intel,0 ලෙස සකස් කරන්න. එසේ කලවිටත් මයික්‍රොෆෝන් සහාය නැත්නම් ප්‍රශ්නය ඇත්තේ පල්ස්ඔඩියෝ වලයි.

ඔබට පල්ස්ඔඩියෝ අත්‍යාවශ්‍ය (මටනම් නැහැ) නැත්නම් ඉවත් කරන්න. වැඩි විස්තර සඳහා https://linux.wellassa.org/2007/11/pulseaudio.html බලන්න. ඉන්පසු Sound In සහ Sound Out devices, default ලෙස සැකසූ විට ඔබේ ප්‍රශ්නය නිරාකරණය වෙයි.

ස්කයිපි වල වෙබ්කෑම් සහාය ගැන මෙන්ම ලිනක්ස් එක්ක වෙබ්කෑම් සහ MiniDV සහ අනෙකුත් වීඩියෝ කැමරා සම්බන්ද කරන ආකාරය ගැන ලිපියක් ලඟදීම බලාපොරොත්තු වන්න.

ෆෙඩෝරා වලට Download Manager (බාගත පරිපාලක)

ලිනක්ස් සඳහා ඔබ භාවිතා කරනා බාගත පරිපාලකය කුමක්ද? මගේ ප්‍රියතම මෙවලම් දෙකක් තමයි ඩවුන් දෙම් ඕල් (DownThemAll!) සහ මල්ටිගෙට් (Multiget) මෙයින් ඩවුන් දෙම් ඕල් කියන්නේ ෆයර්ෆොක්ස් එක්ස්ටෙන්ෂන් එකක්. මෙය ෆයර්ෆොක්ස් 2 සමග මෙන්ම ෆයර්ෆොක්ස් 3 බීටා 3 සමගත් හොඳින් ක්‍රියා කරනවා. නමුත් ෆයර්ෆොක්ස් 3 බීටා 4 සමගනම් තවම ක්‍රියා කරන්නේ නැහැ.

නමුත් මීට වඩා ක්‍රියාකාරීත්වයෙන් වැඩි තනිව ක්‍රියා කරන බාගත පරිපාලකයක අවශ්‍යතාව සමහරවිට අපිට මතු වෙනවා. මල්ටිගෙට් කියන්නේ ලිනක්ස් සඳහා ඇති ඉතා හොඳ බාගත පරිපාලකයක්. මෙය වින්ඩෝස් සඳහා අපි කවුරුත් දන්නා විශිෂ්ට මෘදුකාංගයක් වන ෆ්‍රී ඩවුන්ලෝඩ් මැනේජර් (Free Download Manager) හා යම් තරමකට සන්සන්දනාත්මකයි. (ෆ්‍රී ඩවුන්ලෝඩ් මැනේජර් විවෘත මෘදුකාංගයක් වුවත් එය භාවිතා කරන වින්ඩෝස් මෙවලම් නිසා ලිනක්ස් සඳහා පරිවර්තනය අසීරුයි)

රූපය: මල්ටිගෙට් අතුරුමුහුණත

මල්ටිගෙට් ෆෙඩෝරා සඳහා ස්ථාපනය “sudo yum install multiget” විධානය දීමෙන් සිදුකර ගට්ත හැකියි.

බිට් ටොරන්ට් සහ ලිනක්ස්

සම-සම ජාලකරණයේ (peer to peer networking) වඩාත්ම ජනප්‍රිය භාවිතය තමයි බිට්ටොරන්ට්. ලිනක්ස් සඳහා ඇති සේවාලාභී බිට්ටොරන්ට් මෘදුකාංග (BitTorrent Clients) රාශියක් අතරින් මා ෆෙඩෝරා සඳහා භාවිතා කරන මෘදුකාංග ගැන සටහනක් තැබිමයි මේ කරන්නේ.

ෆෙඩෝරා වල ග්නොම් සඳහා පෙරනිමියෙන්ම ස්ථාපනය වී ඇති බිට්ටොරන්ට් මෘදුකාංගය තමයි ට්‍රාන්ස්මිෂන් (Transmission). එය සියළුම බිට්ටොරන්ට් මූලිකාංග වලින් සමන්විත සරල වේගවත් සැකසුමක්. භාවිතය ඉතාම පහසුයි. අන් සියළුම ග්නොම් මෘදුකාංග වගේම ඉතා සරල අතුරුමුහුණතකින් සමන්විතයි. මෙමරි පරිභෝජනයත් ඉතා අඩුයි.

රූපය: ට්‍රාන්ස්මිෂන්හි සරල අතුරුමුහුණත

සරල වීම නිසාම මෙහි ක්‍රියාකාරීත්වයත් යම් තරමකට සීමාසහිතයි. ට්‍රාන්ස්මිෂන් වල මා දුටු තවත් දුර්වලකමක් නම් බාගත කරන ගොනු අධික ලෙස දෘඩ තැටිය පුරා විසිරී (fragmented) තිබීමයි. ඉතින් ට්‍රාන්ස්මිෂන් වලට වඩා පහසුකම් වැඩි මෘදුකාංගයක් සමහරවිට අපට අවශ්‍ය වෙනවා.

රූපය: ට්‍රාන්ස්මිෂන් – බාගත කරන ටොරන්ට් එකෙහි විස්තර

රිමෝට් ඩෙස්ක්ටොප්, VNC සහ FreeNX

ලිනක්ස් සඳහා හොඳම දුරස්ථ පරිපාලන ක්‍රමය මොකක්ද? GUI එකක් අවශ්‍ය නැත්නම් අනිවාර්‍යයෙන්ම උත්තරය වෙනවා ඇත්තේ SSHයි. නමුත් GUI එකත් අවශ්‍ය නම්, ප්‍රථමයෙන්ම මතකයට එන්නේ VNC නේද?

ලිනක්ස් වලදී VNC දෙයාකාරයකට භාවිතා කල හැකියි. එකක් තමයි දැනට කොන්සෝල් එක හරහා ලොග් වී සිටින යූසර් ගේ ඩෙස්ක්ටොප් එක දුරස්ථව පරිපාලනය. මේ සඳහා භාවිතා කරන්නේ Vino සර්වර් එකයි. ඔබේ ඩෙස්ක්ටොප් එක තවෙකකුට පාලනය කිරීමට හෝ පෙන්වීමට අවශ්‍ය විට vino-preferences විධානය දීමෙන් මේ සඳහා පහසුකම් සලසාගත හැකියි. එසේම vncserver එක ස්ථාපනය මගින් එකම පරිගණකයට කිහිප දෙනෙකුට වුවත් එකවරම, අනන්‍යවම ලොග් විය හැකියි. ඉහත අවස්ථා දෙකේදීම භාවිතා කරන client-side මෘදුකාංගය නම් vncviewer එකයි.

නමුත් ප්‍රශ්නය VNC, මයික්‍රොසොෆ්ට් රිමෝට් ඩෙස්ක්ටොප් ( RDP) හා සසැඳිය හැකිද? විශේෂයෙන්ම අඩු වේගයක් ඇති ජාල සබඳතාවකදී නම් VNC වලට වඩා RDP ඉතා වේගවත්. ඉතින් ඔබ ලිනක්ස් පරිගණකය භාවිතා කරන්නේ client-end එකේ නම් ප්‍රශ්නයක් නැහැ. rdesktop හෝ tsclient ස්ථාපනය කර ගැනීමෙන් ලෙහෙසියෙන්ම මයික්‍රොසොෆ්ට් Terminal-Server එකක් සමග සම්භන්ද විය හැකියි.

Terminal Server හා සැසඳිය හැකි ලිනක්ස් විසඳුමක් අවශ්‍ය නම් විසඳුම FreeNX. මෙමගින් ඉතා අඩු වේගයක් සහිත ලින්ක් එකකදි පවා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට පුලුවන්. FreeNX සර්වර් එක ස්ථාපනය සඳහා පහත විධාන දෙන්න.
sudo yum install freenx

ඉන්පසු http://www.nomachine.com/ අවියෙන් NX client එක ස්ථාපනය කරගන්න. FreeNX භාවිතා කරන්නේ SSH ම නිසා SSH2 වල ඇති සියලු වාසි එය සතුයි. ඔබ දැනටමත් SSH භාවිතා කරනවා නම් Firewall එකේ වෙනස්කම් කලයුතු වන්නේ නැහැ.