ෆෙඩෝරා 9 අළුත්ම නිකුතුව නිකුත් වුනේ පසුගිය මැයි 13 වැනිදායි. මදක් පමා වී වුණත් මේ සටහන ලියන්නේ ෆෙඩෝරා 9 ස්ථාපනය කිරීමේදී ප්‍රයෝජනවත් විය හැකි නිසයි.

අළුත් විශේෂාංග ගණනාවක් සමගම එන ෆෙඩෝරා 9 පිහිටුවාගැනීමට ඇති පහසුම ක්‍රමය නම් ෆෙඩෝරා -9 DVD එක භාවිතා කිරීමයි.

මෙමගින් නැවුම් ස්ථාපනයක් වගේම ඔබ දැනටමත් ෆෙඩෝරා 7 හෝ ෆෙඩෝරා 8 භාවිතා කරනවා නම් එය ෆෙඩෝරා 9 දක්වා නැංවීමටද (upgrade) පුලුවන්.

නමුත් ඔබ දැනටමත් භාවිතා කරන ෆෙඩෝරා (7 හෝ 8 ) මෙහෙයුම් පද්ධතිය ඔබට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගෙන ඇතිවාට නිසැකයි. මෙහිදී ඔබ ෆෙඩෝරා 9 DVD එකේ ඇති සමහරක් පැකේජ භාවිතා නොකරනවා වීමට පුළුවන්. එසේම ඔබ භාවිතා කරන සමහර මෘදුකාංග DVD එක තුල නැතුවා වීමටත් පුලුවන්.

ඉතින් ඔබ භාවිතා කරන මෘදුකාංග පමණක් ලබාගෙන ෆෙඩෝරා 9 ස්ථාපනයට නොහැකිද? (මෙයින් ඔබ බාගත කල යුතු දත්ත ප්‍රමාණය සැලකිය යුතු ලෙසකින් අඩු වෙනවා)

පුලුවන් මේ සඳහා ක්‍රම දෙකක්ම තිබෙනවා. පලමු සහ වඩා විශ්වාසදායී ක්‍රමය නම් ප්‍රී-අප්ග්‍රේඩ් (preupgrade) භාවිතා කිරීමයි.

ප්‍රී-අප්ග්‍රේඩ් (preupgrade) උපදෙස් මාලාව

  1. පලමුව ඔබ දැනටම භාවිතා කරන අනවශ්‍ය මෘදුකාංග සියල්ලම ඉවත් කරන්න. විශේෂයෙන්ම සැක කටයුතු තෙවන පාර්ශවීය මෘදුකාංග ඉවත් කරන්න. (මෙලෙස කල විට ඔබ බාගත කරන දත්ත ප්‍රමාණයත් අඩුවෙනවානේ)
    • VirtualBox පිහිටුවා ඇත්නම් ඉවත් කරන්න
    • totem-xine පිහිටුවා ඇත්නම් ඉවත් කරන්න (පසුව නැවත පිහිටුවා ගත හැකියි)
  2. ඔබ ලිව්නා, ඇඩෝබි, ගූග්ල් වැනි මූල මගින් ස්ථාපනය කර ඇති මෘදුකාංග ඉවත් කල යුතු නැහැ.
  3. ඉන්පසු preupgrade පිහිටුවා ගන්න. මේ සඳහා “sudo yum install preupgrade” විධානය දෙන්න.

දැන් විධාන පෙලේ preupgrade විධානය දීමයි කල යුත්තේ.

  • මෙම මෙවලම ප්‍රථමයෙන්ම ඔබ දැනට භාවිතා කරන මෘදුකාංග පිරික්සා බාගත කලයුතු පැකේජ සොයා ගන්නවා.
  • දෙවනුව එම පැකේජ පමණක් බාගත කරනවා. උදාහරණයක් විදිහට ඔබා භාවිතා කරන්නේ KDE පමණක් නම් එය බාගත කරන්නේත් KDE වලට අදාල පැකේජ පමණයි. ඔබේ ඉන්ටර්නෙට් සම්බන්ධතාව අනුව මේ සඳහා පැය කිහිපයක්ම ගත විය හැකියි. මේ අතරතුර ඔබට සුපුරුදු ලෙසම පරිගණකය භාවිතාවටද හැකියි.
  • අවසානයේදී ඔබ පරිගණකය නැවත පණගැන්වූ පසු ඔබට දිස්වෙන, boot මෙනුවේ ෆෙඩෝරා 9 සඳහා නැංවීමේ මෙනු අයිතමයක්ද තිබෙනවා.
  • දැන් ඉතින් ඔබේ පරිගණකයේ දැනටම ඇති පැකේජ සියල්ලම ෆෙඩෝරා 9 සඳහා නැංවෙනු ඇති. (මේ සඳහාත් පැය කිහිපයක් ගතවීමට පුළුවන්)

මෙලෙස ෆෙඩෝරා 9 පිහිටුවාගත් පසු ඔබ පලමුවෙන්ම කල යුත්තේ ඔබ දැනටමත් භාවිතා කරන තෙවන පාර්ශවීය මෘදුකාංග මූල (Software Repositories) ෆෙඩෝරා 9 සඳහා යාවත් කිරීමයි. (දැන්ම ෆෙඩෝරා 9 යාවත් කිරීමට උත්සාහ කරන්න එපා)

  • ලිව්නා මූලය යාවත් කිරීමට “sudo rpm -Uhv http://rpm.livna.org/livna-release-9.rpm” විධානය දීමෙන් කල හැකියි.
  • ගූග්ල්, ඇඩෝබි, ස්කයිපි වැනි මූල යාවත් කීරීම අනවශ්‍යයි.

ඉන්පසු “sudo yum update” විධානය දීමෙන් තෙවන පාර්ශවීය මෘදුකාංග ඇතුලුව ෆෙඩෝරා 9 යාවත් කල හැකියි.

ෆෙඩෝරා 9 ට නැංවිය හැකි දෙවන ක්‍රමය නම් yum මගින් නැංවීමයි. (a yum upgrade). මෙහිදී ඔබේ පද්ධතිය නැංවීම කරන්නේ ඔබේ පරණ මෙහෙයුම් පද්ධතිය ධාවනය වෙමිනුයි. (අපි කියනවා ලයිව් අප්ග්‍රේඩ් එකක් කියා). මෙමගිනුත් බොහෝ දුරට සාර්ථක ප්‍රතිඵල ලැබෙන මුත් preupgrade තරමටම විශ්වාසදායී නැහැ.

මා මේ ක්‍රම දෙකෙන්ම සාර්ථකව ෆෙඩෝරා 9 ස්ථාපනය කලා. ඉතින් yum upgrade ගැන ඉදිරි දිනකදී කථා කරමු.

ෆෙඩෝරා 8 සිට ෆෙඩෝරා 9 වෙත preupgrade තුලින්

7 thoughts on “ෆෙඩෝරා 8 සිට ෆෙඩෝරා 9 වෙත preupgrade තුලින්

  • ඔබගේ ලිපිය අනුව මාගේ ෆෙඩෝරා 8, 9 දක්වා යාවත්කාල කළෙමි. උපදෙස් උදෙසා ස්තුතියි. නමුත් කොළුචෝ වැඩේ කරන්න ගිහින් අබ කුරහන් උනානේ. සියළුම පියවරයන් ලස්සනට ගියා. අන්තිමට shutdown -r now කියලා ගහලා බලාගෙන හිටියා ෆෙඩෝරා 9 එනකම්! දන්නවද මොකක්ද ආවේ කියලා.
    signal out of range කියලා. ඒ කියන්නේ තිරයට (monitor) එන සංඥා පරාසයෙන් පිට කියලා. දැන් මොකද කරන්නේ? ආපහු කිහිප වතාවක් උත්සහ කළා. ම්හ්! කොහොම හරි ගූගල් පීරන්න පටන් ගත්තා. grub boot loader එකේදි කොහොම හරි 3 මට්ටමේ පිහිටවීමට ආවා. (level 3 boot)
    ( 1. Pressed e while highlighting – kernal …….
    2. hit e to edit again
    3. then leave a space and 3
    4. then enter
    5. and then b)

    ඊට පස්සේ ඔයාගේ ලිපියේ අන්තිම පියවරත් කළා
    (rpm -Uhv http://rpm.livna.org/livna-release-9 && yum -y update)

    ඒකත් පැය ගණනක් උනා කියමුකෝ. ඉවරයි කියලා වැටුනහම නැවත (reboot) පටන් ගත්‍තා. අපොයි GRUB කියලා වැටිලා යන්තරේ හිර වෙනවා. මගේ මෝඩ කමට රක්‍ෂිත කරන්නත් (backup) බැරි උනා. ආයෙත් ගූගල් පීරන්නට උනා. කිහිප දෙයක්ම කළා හරි ගියේ නැහැ. අන්තිමට මගේ ගාව තිබුන ෆෙඩෝරා 8 තැටිය දාලා නැවත ගොඩ ගන්න ගියා. හරි යන්නේම නැහැ. එක වෙලාවකට හිතුනා ආපහු ෆෙඩෝරා 8 දාන්නත්. එත් මගේ සියළුම දේ නැතිවෙන නිසා ඒක හරියන්නෙත් නැහැ. අන්තිමට නැවත ගොඩදාන ප්‍රකාරයේ (mode) ගිහින් කරපු එක දෙයක් හරි ගියා.
    (1. grub-install hda1
    2. root (hd0,0)
    3. setup (hd0)
    4. Quit)

    ඔන්න දැන් යන්තම් GRUB boot loader (ආරම්භක පැටවුම) හරි ගියා. ඒත් තාම තිරයට මොනවත්‍ එන්නේ නැහැ. ඊට පස්සේ
    yum install kmod-nvidia -y කළා.

    ආයෙත් ආරම්භ කළා.
    මෙන්න ෆෙඩෝරා 9…… නියමයි.
    හැබැයි මේ සේරටම වෙලාව දවසක් ගියා.

    මා මෙය ලීවේ යමෙකුට යලි උවමනා වුවහොත් ප්‍රයෝජනය සඳහාය.

  • කොහොමින් කොහොම හරි ෆෙඩෝරා 9 දාගැනීම ගැන මගේ සුභ පැතුම්!

    බොහොමත්ම පිං තොරතුරු වලට.

    මටත් ඔහොම වැඩක් වුණා samsung දෘඩ තැටියක් ඇති පරිගණකයකට ෆෙඩෝරා9 දාන්න ගිහින්. මේක නම් ෆෙඩෝරා වල නිවරදි නොකරපු බග් එකක්.
    ප්‍රශ්නය ඇත්තේ දෘඩ තැටි නිෂ්පාදකයා තැටියේ නමට ස්ලෑශ් එකක් “\” එක් කිරීමයි. මේ ස්ලෑශ් හදිය නිසා මා බොහෝ කරදර වින්දා.

    මෙන්න මෙතන තියෙනවා බග් එක නමුත් තාම විසඳුමක් නැහැ.
    https://bugzilla.redhat.com/show_bug.cgi?id=442457
    මේ ප්‍රශ්නය නිසා මොනම ක්‍රමයකින් වත් ෆෙඩෝරා 9 දාන්න බැහැ yum upgrade එකකින් මිස.

  • අනිවාර්යෙන්ම ඉන්ටර්නෙට් ගියොත් බලන බ්ලොග් එකක් තමයි ෆෙඩොරා ලිනක්ස් සටහන් බ්ලොග් එක.

    මුල ඉදලම ෆෙඩොරා ඉගෙනගන්න විදියට බ්ලොග්එක හදනවනම් බොහොම පිං.

Prasan වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.