‘පරිපාලනය’ මාතෘකාව සඳහා සටහන්
ආයුබෝවන්, RPM Fusion
සටහන් කලේ ප්‍රසාන් | පරිපාලනය, ස්ථාපනය යන මාතෘකා යටතේයි
දැන් ඔබේ ෆෙඩෝරා, රෙඩ්හැට් හෝ CentOS පරිගණකයට නැතිවම බැරි ලිව්නා (livna) සහ freshrpm මූල සහ dribble මූල එක්වීමෙන් තැනුනු RPM Fusion මූලය සක්‍රීයයි. මෙමගින් livna සහ freshrpm එකවර භාවිතා කිරීමේදී පැනනැගුනු ගැටළු විසඳෙනවා.
ඔබ ලිවනා හෝ freshrpm මූලය නිවැරදිව පිහිටවා ඇත්නම් RPM Fusion මූලය ස්වයංක්‍රීයවම පිහිටවාගැනීමට
sudo yum update
විධානයෙන් හැකියි.
එසේ නැත්නම් පහත විධාන දීමෙන් RPM Fusion මූලය පිහිටවා ගන්න.
sudo rpm -Uvh http://download1.rpmfusion.org/free/fedora/rpmfusion-free-release-stable.noarch.rpm
sudo rpm -Uvh http://download1.rpmfusion.org/nonfree/fedora/rpmfusion-nonfree-release-stable.noarch.rpm
දැන් ඉතින් mplayer, xine, vlc වැනි ඔබේ ප්‍රියතම මුදුකාංග පිහිටවීම අසුරු සැනෙකින් කරගත හැකිවෙයි.
ෆෙඩෝරා 8 සිට ෆෙඩෝරා 9 වෙත preupgrade තුලින්
සටහන් කලේ ප්‍රසාන් | පරිපාලනය, පොදු, ස්ථාපනය යන මාතෘකා යටතේයි
ෆෙඩෝරා 9 අළුත්ම නිකුතුව නිකුත් වුනේ පසුගිය මැයි 13 වැනිදායි. මදක් පමා වී වුණත් මේ සටහන ලියන්නේ ෆෙඩෝරා 9 ස්ථාපනය කිරීමේදී ප්‍රයෝජනවත් විය හැකි නිසයි.
අළුත් විශේෂාංග ගණනාවක් සමගම එන ෆෙඩෝරා 9 පිහිටුවාගැනීමට ඇති පහසුම ක්‍රමය නම් ෆෙඩෝරා -9 DVD එක භාවිතා කිරීමයි.
මෙමගින් නැවුම් ස්ථාපනයක් වගේම ඔබ දැනටමත් ෆෙඩෝරා 7 හෝ ෆෙඩෝරා 8 භාවිතා කරනවා නම් එය ෆෙඩෝරා 9 දක්වා නැංවීමටද (upgrade) පුලුවන්.
නමුත් ඔබ දැනටමත් භාවිතා කරන ෆෙඩෝරා (7 හෝ 8 ) මෙහෙයුම් පද්ධතිය ඔබට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගෙන ඇතිවාට නිසැකයි. මෙහිදී ඔබ ෆෙඩෝරා 9 DVD එකේ ඇති සමහරක් පැකේජ භාවිතා නොකරනවා වීමට පුළුවන්. එසේම ඔබ භාවිතා කරන සමහර මෘදුකාංග DVD එක තුල නැතුවා වීමටත් පුලුවන්.
ඉතින් ඔබ භාවිතා කරන මෘදුකාංග පමණක් ලබාගෙන ෆෙඩෝරා 9 ස්ථාපනයට නොහැකිද? (මෙයින් ඔබ බාගත කල යුතු දත්ත ප්‍රමාණය සැලකිය යුතු ලෙසකින් අඩු වෙනවා)
පුලුවන් මේ සඳහා ක්‍රම දෙකක්ම තිබෙනවා. පලමු සහ වඩා විශ්වාසදායී ක්‍රමය නම් ප්‍රී-අප්ග්‍රේඩ් (preupgrade) භාවිතා කිරීමයි.
ප්‍රී-අප්ග්‍රේඩ් (preupgrade) උපදෙස් මාලාව
- පලමුව ඔබ දැනටම භාවිතා කරන අනවශ්‍ය මෘදුකාංග සියල්ලම ඉවත් කරන්න. විශේෂයෙන්ම සැක කටයුතු තෙවන පාර්ශවීය මෘදුකාංග ඉවත් කරන්න. (මෙලෙස කල විට ඔබ බාගත කරන දත්ත ප්‍රමාණයත් අඩුවෙනවානේ)
- VirtualBox පිහිටුවා ඇත්නම් ඉවත් කරන්න
- totem-xine පිහිටුවා ඇත්නම් ඉවත් කරන්න (පසුව නැවත පිහිටුවා ගත හැකියි)
- ඔබ ලිව්නා, ඇඩෝබි, ගූග්ල් වැනි මූල මගින් ස්ථාපනය කර ඇති මෘදුකාංග ඉවත් කල යුතු නැහැ.
- ඉන්පසු preupgrade පිහිටුවා ගන්න. මේ සඳහා “sudo yum install preupgrade” විධානය දෙන්න.
දැන් විධාන පෙලේ preupgrade විධානය දීමයි කල යුත්තේ.
- මෙම මෙවලම ප්‍රථමයෙන්ම ඔබ දැනට භාවිතා කරන මෘදුකාංග පිරික්සා බාගත කලයුතු පැකේජ සොයා ගන්නවා.
- දෙවනුව එම පැකේජ පමණක් බාගත කරනවා. උදාහරණයක් විදිහට ඔබා භාවිතා කරන්නේ KDE පමණක් නම් එය බාගත කරන්නේත් KDE වලට අදාල පැකේජ පමණයි. ඔබේ ඉන්ටර්නෙට් සම්බන්ධතාව අනුව මේ සඳහා පැය කිහිපයක්ම ගත විය හැකියි. මේ අතරතුර ඔබට සුපුරුදු ලෙසම පරිගණකය භාවිතාවටද හැකියි.
- අවසානයේදී ඔබ පරිගණකය නැවත පණගැන්වූ පසු ඔබට දිස්වෙන, boot මෙනුවේ ෆෙඩෝරා 9 සඳහා නැංවීමේ මෙනු අයිතමයක්ද තිබෙනවා.
- දැන් ඉතින් ඔබේ පරිගණකයේ දැනටම ඇති පැකේජ සියල්ලම ෆෙඩෝරා 9 සඳහා නැංවෙනු ඇති. (මේ සඳහාත් පැය කිහිපයක් ගතවීමට පුළුවන්)
මෙලෙස ෆෙඩෝරා 9 පිහිටුවාගත් පසු ඔබ පලමුවෙන්ම කල යුත්තේ ඔබ දැනටමත් භාවිතා කරන තෙවන පාර්ශවීය මෘදුකාංග මූල (Software Repositories) ෆෙඩෝරා 9 සඳහා යාවත් කිරීමයි. (දැන්ම ෆෙඩෝරා 9 යාවත් කිරීමට උත්සාහ කරන්න එපා)
- ලිව්නා මූලය යාවත් කිරීමට “sudo rpm -Uhv http://rpm.livna.org/livna-release-9.rpm” විධානය දීමෙන් කල හැකියි.
- ගූග්ල්, ඇඩෝබි, ස්කයිපි වැනි මූල යාවත් කීරීම අනවශ්‍යයි.
ඉන්පසු “sudo yum update” විධානය දීමෙන් තෙවන පාර්ශවීය මෘදුකාංග ඇතුලුව ෆෙඩෝරා 9 යාවත් කල හැකියි.
ෆෙඩෝරා 9 ට නැංවිය හැකි දෙවන ක්‍රමය නම් yum මගින් නැංවීමයි. (a yum upgrade). මෙහිදී ඔබේ පද්ධතිය නැංවීම කරන්නේ ඔබේ පරණ මෙහෙයුම් පද්ධතිය ධාවනය වෙමිනුයි. (අපි කියනවා ලයිව් අප්ග්‍රේඩ් එකක් කියා). මෙමගිනුත් බොහෝ දුරට සාර්ථක ප්‍රතිඵල ලැබෙන මුත් preupgrade තරමටම විශ්වාසදායී නැහැ.
මා මේ ක්‍රම දෙකෙන්ම සාර්ථකව ෆෙඩෝරා 9 ස්ථාපනය කලා. ඉතින් yum upgrade ගැන ඉදිරි දිනකදී කථා කරමු.
ලිනක්ස් සඳහා පද්ධති තොරතුරු ලබා ගැනීම -System Information
සටහන් කලේ ප්‍රසාන් | පරිපාලනය, මෙවලම් යන මාතෘකා යටතේයි
ලිනක්ස් පරිගණකයක පද්ධතියක දෘඩාංග සහ මෘදුකාංග විස්තර පහසුවෙන් ලබාගත හැකි මෘදුකාංග දෙකක් තමයි මේ හඳුන්වා දෙන්නේ.
ඔබ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සැන්ඩ්‍රා (SiSOft Sandra) හෝ එවරස්ට් (Everest) වැනි මෘදුකාංගයක් ඔබ භාවිතා කර තිබෙනවා ඇති. ඉහත මෘදුකාංග වලින් පද්ධතියේ තොරතුරු ලබා ගන්නවාට අමතරව එහි නොයෙකුත් අංග වල වේගය පිලිබඳ පරීක්ෂණත් (Benchmarking) කල හැකියි. ඉතින් ලිනක්ස් සඳහා මේ හඳුන්වාදෙන්නේ ඒවාට හොඳ විකල්ප දෙකක්.
මෙයින් පලමුවැන්න හැඳින්වෙන්නේ lshw යනුවෙනුයි. මෙය විධාන පෙල අතුරු මුහුනතකින් (CLI) හෙබි මෙවලමක්. එනිසා එතරම් ආකර්ෂණීය නම් නැහැ. නමුත් මේ සඳහා ඉතා හොඳ GUI එකක් තිබෙනවා lshw-gui නමින්. මෙයින් පරිගණකයේ දෘඩාංග ගැන හොඳ විස්තරයක් පහසුවෙන්ම ලබා ගත හැකියි. නමුත් Benchmark කිරීමට නම් නොහැකියි.
දෙවැනි මෘදුකාංගය තමයි හාඩ් ඉන්ෆෝ (hardinfo). මේ නම් අංග සම්පූර්ණ මෙවලමක්. පද්ධතියේ සියළුම දෘඩාංග ගැන මෙන්ම මෙහෙයුම් පද්ධතිය ගැන තොරතුරුත් ලබා ගත හැකියි. එසේම ඔබේ ක්ෂුද්‍ර සකසකය (Processor) benchmark කිරීමටද හැකියාව මෙහි තිබෙනවා.
රූපය: hardinfo අතුරුමුහුණත
ෆෙඩෝරා සඳහා lshw සහ lshw-gui ස්ථාපනයට පහත විධානය දෙන්න.
"sudo yum install lshw lshw-gui"
ෆෙඩෝරා සඳහා hardinfo ස්ථාපනයට පහත විධානය දෙන්න.
"sudo yum install hardinfo"
Ubuntu (උබුන්ටු) 8.04 - ෆෙඩෝරා භාවිතා කරන්නෙක්ගේ ඇසින්
සටහන් කලේ ප්‍රසාන් | පරිපාලනය, පොදු, ස්ථාපනය යන මාතෘකා යටතේයි
මාත් උබුන්ටු 8.04 බීටා ඩෙස්ක්ටොප් වෙළුම ස්ථාපනය කලා. ආරම්භයේදීම සිතට නැගුන දෙයක් තමයි මේ වෙළුමේ හැඩ වැඩ අතින් නම් උබුන්ටු 7.10 ට වඩා වැඩි වෙනසක් නැතිබව. මේ ඔවුන්ගේ දිගු කාලීන සහාය දක්වන වෙළුම නිසා මා මීට වඩා වෙනසක් බලාපොරොත්තු වුනා. වෙනසකට තිබුනේ CD එක ලෝඩ් වූ විටම දැන් පහසුකමක් තියනවා එක්වරම ස්ථාපනයට (කලින් නම් පලමුව සජීවී සංයුක්ත තැටිය බූට් කරලා ඉන්පසුව ස්ථාපනය කරන්න අවශ්‍යයි නෙ)
උබුන්ටු 8 නව වෙනස්කම් සමහරක් ෆෙඩෝරා 8 පසුගිය නොවැම්බරයේදීම එලි දැක්වුවා. උදාහරණයක් විදිහට පල්ස්ඔඩියෝ (pulseaudio) , පොලිසිකිට් (PolicyKit), ට්‍රාන්ස්මිෂන් (Transmission), අථත්‍යකරණ සහාය (virtualization) ගෙන හැර දක්වන්න පුලුවන්. මේ සංසන්දනය පිළිබඳ වැඩි විස්තර සඳහා මේ සබැඳි දෙක බලන්න.
මේ ගැන වැඩිදුරටත් සිතද්දී මගේ සිතට නැගුණු කරුණක් නම් ෆෙඩෝරා භාවිතා කරන්නන්හට ඉතා ඉක්මනින්ම නව පහසුකම් හිමිවෙනවා. ඒ වගේම ඔවුන් මේ නිසාම යම් යම් අපහසුතාත් අත් විඳිනවා. (පල්ස් ඔඩියෝ ගැන මා කලින් ලියූ මේ සටහන් බලන්න - Skype-2 & Pulseaudio, පල්ස් ඔඩියෝ හිසරදය) හැබැයි දැන් උබුන්ටු ඒ පහසුකම්ම ලබා දෙද්දී දහස් ගණනක් ෆෙඩෝරා භාවිතා කරුවන්ගේ දායකත්වය නිසා මේ නව හඳුන්වාඳීම් ස්ථාවර වී හමාරයි.
කොහොම වුනත් උබුන්ටු ඔවුන්ගේ උදෘත පාඨය වන “Linux for Human Beings” යන්න නම් තවඳුරටත් සනාථ කර තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ “Multiverse” සහ “Universe” මූල පෙරනිමියෙන්ම සක්‍රීය නිසා ඉතා ලෙහෙසියෙන්ම උබුන්ටු පරිගණකයක් අංග සම්පූර්ණ කර ගැනීමට පුලුවන්.
උඳාහරණයක් ලෙස
- සියලුම ශ්‍රව්‍ය දෘෂ්‍ය ගොනු ධාවනයට අවශ්‍ය මෙවලම් එකවර ස්ථාපනයට පහත විධානය දෙන්න. “sudo aptitude install ubuntu-restricted-extras”
- gcc, g++ ඇතුලු මෘදුකාංග නිමවීමට අවශ්‍ය මෙවලම් එකවර ස්ථාපනයට පහත විධානය දෙන්න.“sudo aptitude install build-essential”
උබුන්ටු වල ඇති නැවුම්ම වෙනස ලෙස මා දකින්නේ ලයික්වයිස් (Likewise) සමග ගෙන එන Active Directory Integration පහසුකමයි. මේ පහසුකම ඉතා ආකර්ෂණීයයි. Winbind, keberos, pam ආදී එකී මෙකී නොකී දහසුකත් එකක් මෙවලම් ගැන මොකුත්ම දැනගන්න අවශ්‍ය නැහැ. වින්ඩෝස් XP පරිගණකයක් Active Directory එකට එක් කරනවා වගේම සරලව වැඩේ කල හැකියි. කොහොම වුණත් මාගේ අත්හදාබැලීම නම් සාර්ථක වුණේ නැහැ. (තවම බීටා නේ)
උබුන්ටු 8.04 සඳහා තවම http://sinhala.sourceforge.net/ වෙතින් සිංහල පැකේජ නිල වශයෙන් බාගත කල නොහැකි වුනත් උබුන්ටු 7.10 සඳහා ඇති මූල කිසිම ප්‍රශ්නයක් නැතුව උබුන්ටු 8.04 සඳහාත් ක්‍රියා කලා.
උබුන්ටු වල තව එක් නව හඳුන්වාදීමක් තමයි UFW (Uncomplicated firewall) එක. හරිහමන් ෆයර්වෝල් එකක් නැතිව හිටි උබුන්ටුට මේක හොඳ විසඳුමක්. භාවිතය පහසුයි හැබැයි GUI එකක් නම් නැහැ (භාවිතය ඉතා පහසු නිසා GUI එකක් අවශ්‍යත් නැහැ මා හිතන හැටියට). හැබැයි ඉතින් ෆෙඩෝරා වල ඇති system-config-securitylevel ෆයර්වෝල් එක අංග සම්පූර්ණ භාවිතයත් ඉතා පහසු විසඳුමක් බවයි මා දකින්නේ.
මේ වෙනස්කම් වලට අමතරව වින්ඩෝස් වල සිටම උබුන්ටු ස්ථාපනයට මග සලසන Wubi (වුබි) ස්ථාපකයකුත් මේ වෙළුමට අඩංගුයි.
ඉතින් වැඩි විස්තර කීමට තවම කල් වැඩි නිසා භාවිතා කරම බලමු.






