ඔබේ පරිගණකයේ තිරයේ ක්‍රියාකාරකම් දෘෂ්‍ය ගොනුවක් ලෙස සුරැකීමට සමහර විට ඔබට අවශ්‍ය වීමට පුලුවන්. විශේෂයෙන්ම ඔබ යම්කිසි පරිගණක ක්‍රියාකාරකමක් නිදර්ශනයේදී මෙන්ම පරිගණක පද්ධතියක දෝෂ නිමානයේදීත් මේ තිර තැටිගත කිරීම් (Screencast) මහෝපකාරී වෙනවා. මේ හඳුන්වාදෙන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ඒ සඳහා භාවිතා කල හැකි මෙවලම් ගැනයි. මේ සෑම මෙවලමක්ම තිර ග්‍රහණයට අමතරව ශ්‍රව්‍ය ග්‍රහණයේ හැකියාවෙනුත් සමන්විතයි.

පලමුවැන්න තමයි recordmydesktop . මෙය විධාන රේඛාවකින් දිවැවෙන මෙවලමක්. මෙයින් ජනනය වන්නේ Ogg Theora දෘෂ්‍ය කේතනයකුත් Ogg Vorbis ශ්‍රව්‍ය කේතනයකුත් ඇති ගොනුයි. කෙසේවුවත් විධාන රේඛා අතුරුමුහුණත ගැන පසුතැවිලි වීමට අවශ්‍ය නැහැ. ඒ මෙම මෙවලමට gtk-recordmydesktop සහ qt-recordmydesktop නම් වලින් චිත්‍රක අතුරු මුහුණත් ඇති නිසයි. මෙමගින් පරිගණක තිරයේ තෝරාගත් කොටසක සිදුවන ක්‍රියාකාරකම් පටිගත කිරීමට පුලුවන්.

රූපය: gtk-recordmydesktop

දෙවැන්න තමයි istanbul. මෙමගිනුත් ජනනය වන්නේ Ogg Theora දෘෂ්‍ය කේතනයකුත් Ogg Vorbis ශ්‍රව්‍ය කේතනයකුත් ඇති ගොනුයි. භාවිතයත් බොහෝදුරට gtk-recordmydesktop වලට සමානයි.

රූපය: istanbul

මේ මෘදුකාංග සියල්ලටම වඩා පහසුකම් වලින් වැඩි xvidcap නම්වූ මෘදුකාංගය තමයි හඳුන්වාදෙන අවසාන මෙවලම. මෙය භාවිතා ffmpeg එහි ශ්‍රව්‍ය දෘෂ්‍ය කේතනය පිණිස භාවිතා කරන නිසා divx, wmv වැනි mpeg-4 කේතන වලින් ගොනු සුරැකීමේ හැකියාව සතුයි. එසේම flash video (flv) සහායත් දක්වනවා.

රූපය: xvidcap අතුරුමුහුණත

ස්ථාපනය

recordmydesktop සහ එහි GUI එක ස්ථාපනය සඳහා පහත විධානය දෙන්න.

“sudo yum install recordmydesktop gtk-recordmydesktop”

istanbul ස්ථාපනය සඳහා පහත විධානය දෙන්න.

“sudo yum install istanbul”

xvidcap ස්ථාපනය සඳහා පහත විධානය දෙන්න. පලමුව ලිව්නා මූලය සක්‍රීයදැයි බලන්න.

“sudo yum install xvidcap”

 

ඇපල් OS-x සමග ජනප්‍රිය වුණ ඩෙස්ක්ටොප් ආයිත්තම් (විජට්ස් නැත්නම් ගැජට්ස්) ගැන ලිනක්ස් භාවිතා කරන්නනුත් ඉතා උනන්දුයි. ඉතින් ඔබේ ලිනක්ස් පරිගණකයටත් මේ විජට්ස් එක් කර ගත හැකි ක්‍රම කිහිපයක්ම තිබෙනවා.

ලිනක්ස් වල බහුලවම භාවිතා වන විජට්ස් පහසුකම් සපයන යාන්ත්‍රණ දෙකක් තමයි ස්ක්‍රීන්ලට්ස් (Screenlets) සහ g-ඩෙස්ක්ලට්ස් (gDesklets). මීට අමතරව ඔපෙරා බ්‍රව්සරය තුල එයටම කාවැද්දූ විජට්ස් යාන්ත්‍රණයක් තියෙනවා. තවත් ප්‍රසිද්ද මෙවලමක් වන ගූග්ල් ඩෙස්ක්ටොප් වල ලිනක්ස් වෙලුමේ නම් තවමත් විජට්ස් සහාය නැහැ.

ඉතින් ෆෙඩෝරා වලට gdesklets ස්ථාපනය නම් හරිම ලෙහෙසියි. සුපුරුදු පරිදි පහත විධානය දීමෙන් ස්ථාපනය සිදු කල හැකියි.

“sudo yum install gdesklets”

gdesklets වලටත් වඩා වැඩි ආකර්ෂණීයත්වයකින් යුතු ස්ක්‍රීන්ලට්ස් සඳහා නම් ෆෙඩෝරා නිල වශයෙන් RPM නිකුතුවක් මුදා හරින්නේ නැහැ. එමෙන්ම ෆෙඩෝරා සඳහා වඩාත්ම භාවිතා වන තෙවන පාර්ශවීය මූලය වන ලිව්නා (livna) තුලිනුත් ස්ක්‍රීන්ලට්ස් ලබාගත නොහැකියි. කෙසේ වුවත් පහත සබැඳියෙන් ඔබට මෙය ලබාගත හැකියි.

http://www.gnome-look.org/content/show.php/Screenlets?content=73346

පහත දැක්වෙන්නේ gDesklets සහ Screenlets වල ඇති විජට්ස් කිහිපයකුයි.

තිර විකාශය (Screencast) : gDesklets, පටිගත කලේ gtk-recordmydesktop මගිනි.

තිර විකාශය (Screencast) : Screenlets, පටිගත කලේ xvidcap මගිනි.

© 2012 ෆෙඩෝරා ලිනක්ස් සටහන් Suffusion theme by Sayontan Sinha