සම-සම ජාලකරණයේ (peer to peer networking) වඩාත්ම ජනප්‍රිය භාවිතය තමයි බිට්ටොරන්ට්. ලිනක්ස් සඳහා ඇති සේවාලාභී බිට්ටොරන්ට් මෘදුකාංග (BitTorrent Clients) රාශියක් අතරින් මා ෆෙඩෝරා සඳහා භාවිතා කරන මෘදුකාංග ගැන සටහනක් තැබිමයි මේ කරන්නේ.
ෆෙඩෝරා වල ග්නොම් සඳහා පෙරනිමියෙන්ම ස්ථාපනය වී ඇති බිට්ටොරන්ට් මෘදුකාංගය තමයි ට්‍රාන්ස්මිෂන් (Transmission). එය සියළුම බිට්ටොරන්ට් මූලිකාංග වලින් සමන්විත සරල වේගවත් සැකසුමක්. භාවිතය ඉතාම පහසුයි. අන් සියළුම ග්නොම් මෘදුකාංග වගේම ඉතා සරල අතුරුමුහුණතකින් සමන්විතයි. මෙමරි පරිභෝජනයත් ඉතා අඩුයි.
රූපය: ට්‍රාන්ස්මිෂන්හි සරල අතුරුමුහුණත
සරල වීම නිසාම මෙහි ක්‍රියාකාරීත්වයත් යම් තරමකට සීමාසහිතයි. ට්‍රාන්ස්මිෂන් වල මා දුටු තවත් දුර්වලකමක් නම් බාගත කරන ගොනු අධික ලෙස දෘඩ තැටිය පුරා විසිරී (fragmented) තිබීමයි. ඉතින් ට්‍රාන්ස්මිෂන් වලට වඩා පහසුකම් වැඩි මෘදුකාංගයක් සමහරවිට අපට අවශ්‍ය වෙනවා.
රූපය: ට්‍රාන්ස්මිෂන් – බාගත කරන ටොරන්ට් එකෙහි විස්තර
මෙහිදී යොදාගත හැකි මෘදුකාංගයක් නම් Azureus යි. Azureus බිටොරන්ට් සේවාලාභී මෘදුකාංගයක් විතරක් නෙවෙයි නොයෙකුත් ටොරන්ට් අන්තර්ගත සෙවීම සඳහා බිහිදොරක් ලෙසත් ක්‍රියාකරනවා. ඔවුන් සපයන Vuze නම් වූ සේවාවකට මෙම මෘදුකාංගය හරහා කෙලින්ම සම්බන්ධ විය හැකියි. එසේම ක්‍රියාකාරීත්වය අතින් Azureus ඉතා ඉහලයි. ඔබ බාගත කරන ගොනු වල සම්පූර්ණ පාලනයම Azureus ඔබට ලබාදෙනවා.
රූපය: Azureus – සියළු පහසුකම් සහිත මෘදුකාංගයක්

රූපය: Azureus – ගොනුවක් බාගත කිරීමේදී සම්බන්ධ වී ඇති සමානයන්ගෙන් (peer swarm) දත්ත ලැබෙන අයුරු.
නමුත් Azureus වල මෙමරි පරිභෝජනය ඉතා වැඩියි. මෙය ජාවා මෘදුකාංගයක් වීමත් මෙයට යම් තරමකට බලපා තිබෙනවා. නමුත් අධික මෙමරි භාවිතාවට මූලිකම හේතුව නම් මෙහි ඇති විශේෂාංග ගණනාවයි. මෙය ජාවා මෘදුකාංගයක් වුවත් swing භාවිතා නොකොට SWT භාවිතා කර ඇති නිසා ග්නොම් හැඩ වැඩ සමග නම් ඉතා හොඳින් අනුගත වෙනවා. (Eclipse යනු SWT භාවිතා කරන තවත් මෘදුකාංගයක්) එනිසා සාමාන්‍ය ජාවා සැකසුමකට වඩානම් මෙය වේගවත්. කෙසේ වුවත් අධික මෙමරි භාවිතාව නිසා බොහෝ දෙනෙක් මෙය භාවිතා කිරීමට මැලි වීමට පුලුවන්.

රූපය: Azureus – අතුරුමුහුණතින්ම තුලින් Vuze සේවාවට සම්බන්ධ විය හැකි අයුරු
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා ඇති ඉතා ජනප්‍රිය බිට්ටොරන්ට් මෘදුකාංගයක් තමයි ම්‍යුටොරන්ට් (uTorrent) එය ඉහත මෘදුකාංග දෙකෙහිම යහගුණ කැටිවූවක් විදිහට අපිට සලකන්න පුලුවන්. ඉතින් uTorrent ලිනක්ස් වල ධාවනය කිරීමට නොහැකිද? වයින් (wine) හරහා එසේ කලහැකියි. ඇත්තෙන්ම ම්‍යුටොරන්ට් වයින් සඳහා නිල වශයෙන්ම මුදාහැරෙන අතර කිසිදු ප්‍රශ්නයකින් තොරව ක්‍රියා කරනවා. ඔබට Azureus වල ඇති සියළු බිට්ටොරන්ට් වලට අදාල පහසුකම් මෙමගින් ලබාදෙනවා විතරක් නෙමෙයි ක්‍රියාකාරීත්වයත් ඉතා වේගවත්. මෙමරි භාවිතාව ට්‍රාන්ස්මිෂන් හා සන්සන්දනාත්මකයි.
ම්‍යුටොරන්ට් වල තවත් විශේෂත්වයක් වන්නේ ආකර්ෂණීය වියුණු අතුරුමුහුණතයි. (WEB UI). මෙමගින් එහි පාලන කටයුතු සියල්ලම ඉන්ටර්නෙට් බ්‍රව්සරය තුල සිටම කර ගැනීමට පුලුවන්. එනම් ඔබේ කාර්‍යාලයේ දිවෙන ම්‍යුටොරන්ට් පාලනය ගෙදර සිට කිරීමට පුලුවන්.

රූපය: uTorrent – අංගසම්පූර්ණ බිට්ටොරන්ට් විසඳුම

රූපය: uTorrent – වියුණු අතුරුමුහුණත ඔපෙරා බ්‍රව්සරයෙන් දිස්වන අයුරු
ඉතින් මේ සටහනේ කරුණු සම්පිණ්ඩනය කළහොත් මගේ අදහස නම් uTorrent වින්ඩෝස් මෘදුකාංගයක් වුවත්, ලිනක්ස් සඳහා ඇති හොඳම බිට්ටොරන්ට් විසඳුම බවයි.
රූපය: Azureus, uTorrent සහ Transmission වල මෙමරි පරිභෝජනය; මෘදුකාංග තුනම එකම ගොනුව බාගත කරද්දී ගත් තිරපිටපතක්. ඉහලින්ම java ලෙස සටහන් වී ඇත්තේ Azureusයි
ට්‍රාන්ස්මිෂන් ස්ථාපනය සඳහා “sudo yum install transmission” විධානය දෙන්න.
ම්‍යුටොරන්ට් ස්ථාපනය
- පලමුව ඔබේ වයින් ස්ථාපනය යාවත්කාලීනදැයි බලන්න. “sudo yum update wine” ස්ථාපන උපදෙස් සඳහා මෙතන බලන්න ලිනක්ස් මත වින්ඩෝස් මෘදුකාංග භාවිතය – Wine
- ම්‍යුටොරන්ට් අඩවියට ගොස් http://www.utorrent.com/download.php අලුත්ම uTorrent එකලස බාගත කරගන්න. (මේ සටහන ලියනවිට uTorrent 1.75)
- දැන් utorrent.exe ධාවනය කරන්න. (ඔබට utorrent.exe ගොනුවේ ධාවන අයිතීන් (executable permissions) ලබා ගැනීමට සිදුවේවි) utorrent.exe පලමුවර ධාවනයේදී එය ස්වයං ස්ථාපකයක් (Self Installer) ලෙසත් ක්‍රියා කරනවා.
- ම්‍යුටොරන්ට් වියුණු මුහුණත ලබාගැනීමට ම්‍යුටොරන්ට් අඩවියෙන් (http://download.utorrent.com/beta/webui_v0.310_beta_2.rar) webui.zip ගොනුව ලබා ගන්න. ඉන්පසු එය ඔබේ වයින් ස්ථාපනයේ ඇති ම්‍යුටොරන්ට් වලට අදාල Application Data ෆෝල්ඩරයට කොපි කරගන්න. “cp webui.zip ~/.wine/drive_c/windows/profiles/$USER/Application\ Data/uTorrent“
- දැන් ම්‍යුටොරන්ට්හි Options->Preferences->Advance වල Web UI සක්‍රීය කර ගන්න.
Azureus ස්ථාපනය
- පලමුව ජාවා ස්ථාපනය නිවැරදිදැයි බලන්න. ජාවා ස්ථාපන උපදෙස් සඳහා මේ සටහන බලන්න ජාවා – Sun JRE සහ JDK ස්ථාපනය
- මෙම අඩවියට ගොස් http://azureus.sourceforge.net/download.php නවතම වෙලුම ලබාගන්න. මෙය කැමති තැනකට එක්ස්ට්‍රැක්ට් කර එහි ඇති azureus ධාවනය කරන්න.



